කලාකරුවන් පිළිබඳ පමණක් කතා කිරීම සදාචාර විරෝධීයි | දිනමිණ


 

කලාකරුවන් පිළිබඳ පමණක් කතා කිරීම සදාචාර විරෝධීයි

කලාකරුවන් ඇතුළු සියලුම ජනතාව මෙම ව්‍යසනයෙන් බැට කන බවත් රසිකයන් ව්‍යසනයට පත්වී සිටියදී කලාකරුවන් පිළිබඳ පමණක් කතා කිරීම සදාචාර විරෝධී බවත් ටවර්හෝල් රඟහල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල්, ටෙලිනිස සභාපති ඩග්ලස් සිරිවර්ධන මහතා ඊයේ (5) දිනමිණ කළ විමසීමකදී පැවසුවේය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසුවේය.

"මම 1986දි හිට්ලර් කියලා දෙවැනි ලෝක යුද්ධය ගැන නාට්‍යයක් කළා. මට ඒ මතක මේ සිදුවන දේවල් එක්ක නැවත ආවර්ජනය වෙනවා. මිනිස්සු තමන්ගේ දරුවන්ගේ සහ වැඩිහිටි අයගේ මරණය දැක දැක ජීවත්වෙන්නේ තමන් ළඟ තියෙන හැමදේම අරපිරිමැස්මෙන් පාවිච්චි කරමින්. අපිත් අද ඒ නාට්‍යයේ තරමටම අසරණ වෙලා. මේක කලාකරුවන්ට කියලා විතරක් ලඝු කරන්න බැරි ඒකයි. මොකද කලාකරුවෝ ජීවත්වෙන්නේ රසිකයෝ නිසා. රසික ජනතාව අද විපතට පත්වෙලා. ඒ නිසා තමයි අපි කලාකරුවෝ වෙන් කරලා කතා කරන එක නුසුදුසු වෙන්නේ.

"පූර්ණකාලීනව කලාවට කැපවුණු අය සියලුම දෙනා පාහේ කිසිම ආදායමක් නැතිව ජීවත්වෙන්නේ. ටවර්හෝල් රඟහලෙන් වැටුප් ලබන කලාකරුවන් ඉන්නවා. ඒත් සමස්තයක් විදියට බලද්දි කලාකරුවන්ට මාසික වැටුපක් නැහැ. නිදහස් කලා සංධානය, ටෙලි නිර්මාණවේදීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා ටෙලි වෘත්තිකයන්ගේ ජාතික සංවිධානය සහ ස්වාධීන රූපවාහිනී ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා සමඟ කලාකරුවන්ට ආධාර කිරීමේ වැඩපිළිවෙළක් සංවිධානය කරලා තියෙනවා. මේක මනුෂ්‍යත්වයේ සත්කාරය විදියට තමයි නම්කරලා තියෙන්නේ. එහිදී කලාකරුවන් හඳුනගෙන වියළි ආහාර ලබාදීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා. මේ වෙද්දි කෙනෙකුගෙන් කෙනකුට උදව් ලබා දෙන්නවත්, කෙනෙකුගෙන් කෙනකුට උදව් දෙන්නවත් පුළුවන් තත්ත්වයක් නෙවෙයි ලංකාවේ තියෙන්නේ. තමන් පරිස්සම් වෙනවා වගේම අනිත් කෙනත් පරිස්සම් කරන්න ඕනෑ. ඒ කියන්නේ රජය රජයේ යුතුකම ඉටුකරද්දි පුරවැසියො තමන්ගේ යුතුකම ඉටුකරන්න අවශ්‍යයි."

නදී මාණික්කගේ

 

නව අදහස දක්වන්න