බක් පෝයට හෙට පන්සල් එන්න එපා | දිනමිණ


 

බක් පෝයට හෙට පන්සල් එන්න එපා

අසේල කුරුළුවංශ

සෞඛ්‍ය අංශවලට අවනත වී ගෙදරම ආගමික කටයුතු කරන්න
රටේ පවතින තත්ත්වයට ජාති ආගම් බේද නොතකා අවනත වීම සැමගේ වගකීමක්

මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය ලේඛකාධිකාරී නාහිමිවරු කියති

රටේ පවතින වාතාවරණය නිවැරදිව තේරුම් ගෙන සෞඛ්‍ය අංශ මඟින් ලබා දෙන උපදෙස් අනුව ක්‍රියා කරමින් මෙවර බක් පුන් පොහෝ දින පිංකම්වලට විහාරස්ථානවලට එක්රැස් නොවී නිවෙස්වලට වී ආගමික කටයුතුවල නිරත වන ලෙස මල්වතු අස්ගිරි උභය මහ විහාරයීය ලේඛකාධිකාරී නාහිමිවරු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරති.

සෑම පුන් පොහෝ දිනකම බෞද්ධ පින්වතුන් වෙහෙර විහාරස්ථානවලට එක්රැස්ව ආගමික වතාවත්වල නිරත වන බවත් මෙවර රටේ පවතින වාතාවරණය අනුව ඒ ආකාරයෙන් ඒකරාශී වීමේ අවකාශයක් නොමැති බවත් අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් හා මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන් ප්‍රකාශ කර තිබේ. සමස්ත ලෝකයට තර්ජනයක් වී තිබෙන කොවිඩ්-19 වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වළක්වා ගැනීමට රජය විසින් ගනු ලබන සෞඛ්‍ය හා ආරක්ෂක විධිවිධානවලට අවනත වීම හා ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දීම භික්ෂූන් වහන්සේලාගේ මෙන්ම බෞද්ධ ජනතාවගේ යුතුකම හා වගකීම බවද උන්වහන්සේ දෙනම පවසති.

මහජනතාව ඒකරාශී කර ගනිමින් සිදු කරනු ලබන ආගමික හා උත්සව කටයුතු සිදු නොකරන ලෙස සෞඛ්‍ය අංශ මඟින් කරනු ලැබ ඇති දැනුම්දීමට අනුව සියලු ජනතාව ජාති, ආගම් බේදයෙන් තොරව ක්‍රියා කිරීම මේ මොහොත් අවශ්‍යතාවක් බවද උන්වහන්සේලා ප්‍රකාශ කරති.

විහාරස්ථානවල සිදු කෙරන ආගමික වතාවත් මහා සංඝරත්නය විසින් එලෙසින්ම සිදු කරනු ලබන අතර බෞද්ධ ජනතාව ඊට අනුගතව නිවෙස්වල සිට ආගමික වතාවත්වල නිරත වීම මඟින් රජයට අවශ්‍යය සහාය ලබා දිය හැකි බවත් මේ අවස්ථාවේ සියලු දෙනා ජාති, ආගම් බේද පසෙක තබා රට ගැන සිතා කටයුතු කළ යුතුව තිබෙන බවත් ලේඛකාධිකාරී හිමිවරු පවසති.

නව අදහස දක්වන්න