ගොවි-ධීවර විශ්‍රාම වැටුප් වැඩිහිටි, ආබාධිත වකුගඩු රෝගී දීමනා නිවසටම | දිනමිණ


 

ගොවි-ධීවර විශ්‍රාම වැටුප් වැඩිහිටි, ආබාධිත වකුගඩු රෝගී දීමනා නිවසටම

රජය වැඩසටහන අද අරඹයි

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැලැක්වීමේ වැඩපිළිවෙළට සමඟාමීව ගොවි, ධීවර විශ්‍රාම වැටුප් මෙන්ම වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා නිවසටම ගෙනවිත් බාරදීම රජය විසින් අද (06) ආරම්භ කෙරේ. කොරෝනා වෛරසයේ අවදානම හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු කණ්ඩායම් තුනක් වන වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවීමට සැලසුම් කර ඇති දීමනා අද (06) දින ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන් ම ගෙවා නිම කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ලබාදීම ද අද (06) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ නායකත්වය යටතේ මෙම සහන ලබාදෙන බව අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

වැඩිහිටි දීමනා ලබන 416764 කට සහ පොරොත්තු ලේඛනයේ සිටින 142345 කට රුපියල් 5000 බැගින් වූ දීමනාව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය ගෙවීමට කටයුතු යොදා තිබේ.

වයස අවුරුදු සියය ඉක්ම වූ 400 කට සහ සුදුසුකම් ලැබූ තවත් 152 කට ද රුපියල් 5000 බැගින් හිමිවන අතර අබාධ සහිත තැනැත්තන් 84171 කට සහ පොරොත්තු ලේඛනයේ සිටින 37229 කටත් රුපියල් 5000 බැගින් ගෙවීමට අබාධ සහිත තැනැත්තන් සඳහා වන ලේකම් කාර්යාලය මඟින් කටයුතු කෙරේ.

වකුගඩු රෝගී දීමනාව ලබන 25320 කට සහ පොරොත්තු ලේඛනයේ සිටින 13850කට, ගොවි විශ්‍රාම වැටුප් ලැබූ 160675 කටත් රුපියල් 5000 දීමනාව ගෙවීම ද අද (06) ආරම්භ කර මෙම සතිය තුළ නිම කිරීමට නියමිතය.

එමෙන්ම, සමෘද්ධි දීමනාව ඇතුළු අනෙකුත් දීමනා ගෙවීමේ වැඩපිළිවෙළ අප්‍රේල් මස 07 වන අඟහරුවාදා දින සිට ක්‍රියාත්මක කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව රජය තවදුරටත් අවධාරණය කරයි.

විශ්‍රාමිකයන්ගේ මෙම මසට අදාළ විශ්‍රාමික වැටුපද තැපැල් කාර්යාල මඟින් නිසි පරිදි නිවෙස්වලටම ගොස් බෙදා දීම සිදුකරමින් සිටින බවත් යම් විදියකින් විශ්‍රාම වැටුප නොලබුණේ නම් තමන්ට විශ්‍රාම වැටුප හිමි තැපැල් කාර්යාලයට අමතා තොරතුරු ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය. ගොවි විශ‍්‍රාම වැටුප් හිමි පුද්ගලයින්ගේ ලිපිනයන් බොහෝමයක් තහවුරු කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් නිවෙස් වෙතට ගොස් විශ‍්‍රාම වැටුප ලබාදීම ගැටළුවක් වී ඇති බව මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ග‍්‍රාම සේවක වසම් මට්ටමින් තැපැල් කාර්යාල වෙත අදාළ පිරිස් කැඳවීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

තීරණය කර ඇත්තේ.

කෙසේවෙතත් හැකි සෑම ප්‍රදේශවලම ගොවි විශ‍්‍රාම වැටුප නිවෙස් වෙත බෙදා හැරීමට පියවර ගන්නා බවත් ධීවර විශ‍්‍රාම වැටුප් ද තැපැල් කාර්යාල හරහා අද (06) සිට ලබාදෙන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

මේ අතර ඉකුත් 02 වැනිදා සහ 03 වැනිදා යන දිනවලදී සිය විශ‍්‍රාම වැටුප් ලබාගත නොහැකි වූ විශ්‍රාමිකයින්ට හෙට දිනයේදී බැංකු වෙත ගොස් එම සිය විශ‍්‍රාම වැටුප ලබාගැනීමේ හැකියාව පවතින අතර ඒ සඳහා ත්‍රිවිද හමුදාව විසින් ප්‍රවාහන පහසුකම් සැපයීමට ද නියමිතයි.

සමෘද්ධිලාභීන් 1798655 කට රුපියල් 10000 බැගින් ගෙවීමට තීන්දු කර ඇති අතර එහි පළමු වාරිකය වශයෙන් රුපියල් 5000 ගෙවීම මේ වන විට අවසන් කර ඇති අතර සමෘද්ධි හිමිකමට සුදුසුකම් ලැබූ සහ පසුගිය වසරේ දීමනාව නොලැබුණු 600339 කටත් මෙම දීමනාව ලබාදී තිබේ.

 ධනුෂ්ක ගොඩකුඹුර සහ නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න