වාර්ෂික අලුත් සහල් මංගල්‍යය මෙවරත් ශ්‍රී මහා බෝ රඳුන් අභියස දී | දිනමිණ


 

වාර්ෂික අලුත් සහල් මංගල්‍යය මෙවරත් ශ්‍රී මහා බෝ රඳුන් අභියස දී

අමිල ප්‍රභාත් වනසිංහ
අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී චාරිත්‍රානුකූලව සිදු කළ අයුරු

වාර්ෂිකව සිදු කරන අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී පෙරේදා (04) පෙරවරුවේ පැවැත්විණි.

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම පිංකම රුවන්වැලි චෛත්‍යරාමාධිපති අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිදු විය. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙවර මහ කන්නයේ නලන ලද වී අස්වනුවල සහල්වලින් හෙළ චාරිත්‍රානුකූලව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස තැන්පත් කළ රන් අලේපිත පාත්‍රය පුරවනු ලැබිය. අස්වනු සරුසාර වී රටට සෞභාග්‍ය උදා වේවා යන්නත් රටෙහි පවතින උවදුරු දුරු වී නිරෝගිමත් දේශයක් උදා වේවා යන්නත් ප්‍රාර්ථනා කරමින් මෙම පුණ්‍ය කටයුතු පැවැතිවිණි.

මෙම අවස්ථාවට ඉඩම්, ඉඩම් සංවර්ධන, වනජීවී හා පරිසර ඇමැති එස්.එම්. චන්ද්‍රසේන, හිටපු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ. රටෙහි පවතින තත්ත්වය හේතුවෙන් සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙම කටයුත්ත සිදු කෙරිණි.

නව අදහස දක්වන්න