කොරෝනා යැයි සැකයි නම් 1390 අමතන්න | දිනමිණ

කොරෝනා යැයි සැකයි නම් 1390 අමතන්න

සන්ධ්‍යා කරුණාරත්න

කැස්ස-සෙම්ප්‍රතිශ්‍යාව-ස්වසන අපහසුතා ඇත්නම් රෝහලට යන්න එපා

*සිංහල-දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම තොරතුරු

*උ‍පදෙස් දෙන්න වෛද්‍යවරු 100ක්

*සුවසැරියෙන් රෝගියාගේ නිවසටම

*උපෙදස් පිළිපැදීම ව්‍යාප්තවීම පාලනයට පහසුවක්

කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බවට කිසියම් පුද්ගලයකුට සැකයක් පැවතියහොත් 1390 ක්ෂණික දුරකථනය ඇමතීමෙන් වෙනත් අයට රෝගය ව්‍යාප්ත නොකරමින් ආරක්ෂිතව රෝහල්ගතවීමට හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසුවේය.

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෝ ස්වසන අපහසුතා පවතින්නේ නම් එක්වරම රෝහලට නොගොස් මේ දුරකථන අංකය අමතා තොරතුරු දැනගෙන රෝහල්ගත විය හැකි බවත් මේ අංකය අලුතින් හඳුන්වා දුන් බවත් ඒ මහතා පැවැසුවේය. පුද්ගලයන්ගේ සංචරණය අවම කරමින්, එම පුද්ගලයාට යම් රෝග තත්ත්වයක් පවතින්නේ නම් සෙසු පුද්ගලයන්ට එය පැතිර යෑම වැළක්වීමේ අරමුණෙන් මේ ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී තිබේ.

පැය 24 පුරාම මේ අංකය ක්‍රියාත්මක අතර, සිංහල, දෙමළ, ඉංග්‍රීසි ඕනෑම භාෂාවකින් තමන්ට අවශ්‍ය තොරතුරු දැන ගත හැකි බවත් දුරකථන ඇමතුම්වලට පිළිතුරු ලබාදීමට වෛද්‍යවරුන් 100කට අධික කණ්ඩායමක් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. රෝග ලක්ෂණ අනුව අවශ්‍ය නම් රෝහල්ගතවීමට සිදුවන අවස්ථාවලදී ‘1990 සුවසැරිය‘ ගිලන්රථ සේවාව සම්බන්ධීකරණය කර රෝගියා සිටින ස්ථානයටම පැමිණ රෝහල්ගත කිරීම සිදු කරන්නේ යැයි ද ඔහු අවධාරණය කළේය. මේ උපදෙස් මහජනතාව අනුගමනය කිරීමෙන් වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම ඉක්මණින් අවම කර ගත හැකි බව සෞඛ්‍ය අංශයේ විශ්වාසය වේ.

නව අදහස දක්වන්න