ගෙවතු දස ලක්ෂයක් වගා කරන ‘සෞභාග්‍ය ගෙවත්ත‘ වැඩසටහන ඇරැඹේ | දිනමිණ


 

ගෙවතු දස ලක්ෂයක් වගා කරන ‘සෞභාග්‍ය ගෙවත්ත‘ වැඩසටහන ඇරැඹේ

අනුර ප්‍රේමලාල්

ගෝලීය ආහාර අර්බුදයට පිළියමක්

ඇමැති ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉදිරියෙහි ඇති විය හැකි ආහාර අර්බුදයට පිළියමක් ලෙස රජය ක්‍රියාත්මක කරන ආහාර නිෂ්පාදනය කිරීමේ කඩිනම් වැඩපිළිවෙළ ‘සෞභාග්‍ය ගෙවත්ත‘ පසුගිය 4 වැනිදා නිල වශයෙන් ආරම්භ කෙරිණි.

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන සෞභාග්‍ය ගෙවත්ත වැඩපිළිවෙළ යටතේ ගෙවතු දස ලක්ෂයක් වගා කිරීමට නියමිත බව උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

ගෝලීය වශයෙන් ලොව පුරා ව්‍යාප්ති වන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඉදිරියේ ඇති විය හැකි ආහාර අර්බුදයට පිළියමක් වශයෙන් ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමේ වැඩපිළිවෙළ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා.

මහවැලි කෘෂිකර්ම වාර්මාර්ග සහ ග්‍රාමීය සංවර්ධන ඇමැති චමල් රාජපක්ෂ මහතා මේ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. එම අමාත්‍යාංය යටතේ පවතින සියලු ආයතන සම්බන්ධ කර ගනිමින් මේ ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබනවා.

ආනයනික අතිරේක භෝග 15ක් රට තුළ ප්‍රවර්ධනය කිරීමේ දීප ව්‍යාප්ත ‘සෞභාග්‍යා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන‘ ප්‍රදේශ කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කෙරෙනවා.

මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා,

නාගරික සහ අර්ධ නාගරික ජනතාව ඇතුළු සියලු දෙනා සම්බන්ධ කර ගනිමින් පසුගිය මාර්තු 26 දා සෞභාග්‍ය ගෙවත්ත නමින් ගෙවතු දස ලක්ෂයක් වගා කිරීමේ කඩනම් වැඩසටහන ආරම්භ කළා.

මේ වන විට දස ලක්ෂයකට වඩා ඉල්ලුමක් පවතින බවයි. මේ ගෙවතු වගාව සඳහා බීට් ඇට රු. 20 ක් වැනි සුළු මුදලකට ලබා ගැනීමට හැකියි. නියමිත කාලය සඳහා වගා කළ යුතු අතර ඊට අදාළ උප‍දෙස් පත්‍රිකාවක් ද ඒ සමඟ ලබාදෙනවා.

අද ආරම්භ කෙරෙන ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන් යටතේ ඉඩම් අක්කර 65,000ක් වගා කිරීමට සැලසුම් කර තිබෙනවා. මහවැලි සංවර්ධන අධිකාරිය වැනි ආයතන සම්බන්ධ කර ගනිමින් මේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් පෙරේරා මහතා,

මහවැලි කලාපයේ යල කන්නයේ මේ වගාවන් ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අද දින ප්‍රදේශ කිහිපයක මේ ජාතික වගා වැඩසටහන ආරම්භ කෙරෙනවා.

සෞභාග්‍ය ගෙවත්ත වැඩසටහන වගා කිරීම සඳහා භූමි ප්‍රමාණයක් නොමැති නාගරික හා අර්ධ නාගරික ජනතාව සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනක් ද වෙනවා.

සමෘද්ධි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා ද අදහස් දැක්වීය.

නව අදහස දක්වන්න