දරන වෑයම පලුදු නොකිරීම සියලු දෙනාගේ වගකීමයි | දිනමිණ


 

දරන වෑයම පලුදු නොකිරීම සියලු දෙනාගේ වගකීමයි

ඇමැති ඩලස් අලහප්පෙරුම

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට රටක් වශයෙන් දරන පරිශ්‍රමය පලුදු කිරීමෙන් වැළකීම සියලු දෙනාගේ වගකීම බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

විශේෂයෙන්ම රටේ නායකයාගේ දූරදර්ශී තීන්දු තීරණ හා ක්‍රියාමාර්ග, සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල අතිශය කෘතවේදී පරිශ්‍රමය සහ වගකීම් සහගතව සමාජ හිතකාමී අයුරින් කටයුතු කරන ජනතාවගේ සුවිශේෂ දායකත්වයත් උපයෝගී කර ගනිමින් මේ ව්‍යසනකාරී තත්වයෙන් රට මුදා ගැනීමට කටයුතු කරන මේ මොහොතේ සියලු පාර්ශ්වයන්හි වගකීම වන්නේ එම වැඩපිළිවෙළ සමඟ ඒකාත්මිකවීම බව ඇමැතිවරයා කීවේය.

කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය වැළැක්වීම හා පාලනය කිරීම වෙනුවෙන් පක්ෂ විපක්ෂ සියලු දේශපාලන නියෝජිතවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා මාතර දිස්ත්‍රික්කයේ පැවති හමුවකට එක්වෙමින් ඇමැතිවරයා එසේ කියා සිටියේය.

මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන කංචන විජේසේකර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතවරුන් රැසක් එක්ව සිටියහ.

සියලු දෙනා සාමූහිකව හා සහයෝගයෙන් පවත්නා තත්ත්වය පිළිබඳ බුද්ධිමත්ව සැලකිල්ලට ගනිමින් කටයුතු කළ යුතු බව ද අවධාරණය කළ ඇමැතිරයා එළඹෙන විසි වැනිදා සිට දරුවන්ට සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය සඳහාම වෙන් වන රූපවාහිනී නාලිකා දෙකක් ආරම්භ කිරීමට ද රජය පියවර ගෙන ඇති බව කීවේය.

නුවන් කොඩිකාර, ගන්දර සමූහ සහ වැලිගම සමූහ

නව අදහස දක්වන්න