අපට ඉතිරි වන්නේ රටේ නිෂ්පාදන පමණයි ව්‍යසනයෙන් පසු කර්මාන්ත පුනරුද යුගයක් ඇරැඹිය යුතුයි | දිනමිණ


 

අපට ඉතිරි වන්නේ රටේ නිෂ්පාදන පමණයි ව්‍යසනයෙන් පසු කර්මාන්ත පුනරුද යුගයක් ඇරැඹිය යුතුයි

ඇමැති විමල් වීරවංශ

අපට ඉතිරි වන්නේ ජාතික රාජ්‍යය තුළ කරනු ලබන නිෂ්පාදන පමණක් බවත් කොරෝනා වසංගතයෙන් මිදුණු පසු දේශීය වශයෙන් කර්මාන්ත පුනරුද යුගයක් ආරම්භ කිරීමට සූදානම් විය යුතු බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ පසුගිය දා මීගමුව රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් ආයතනය දැඩි සත්කාර ඒකක ඇඳන් වාණිජමය ලෙස නිෂ්පාදනය කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය. මේ වන විටත් ශ්‍රී ලංකාවෙහි දේශීය කර්මාන්තකරුවකු වන සුනිල් ප්‍රනාන්දු මහතා දැඩිසත්කාර ඇඳන් නිෂ්පාදනය අරඹා ඇති බව පැවසූ විමල් වීරවංශ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

‘කොරෝනා වසංගතය ලෝකයට පාඩම් රැසක් උගන්වා තිබෙනවා. යුරෝපයෙන් අපට ආනයනය කරපු මතවාද අද පුස්සක් බවට පත් වී තිබෙනවා. ජාතික රාජ්‍යය තුළ සිදු කරන නිෂ්පාදන පමණයි අපට ඉතිරි වන්නේ කියන පාඩම අද අපට කියා දී තිබෙනවා. ඒ නිසා මේ මහා වසංගතයෙන් මිදුණු පසු අප දේශීය වශයෙන් කර්මාන්ත පුනරුද යුගයක් ඇරැඹීමට සූදානම් විය යුතුයි. කර්මාන්ත පුනරුද යුගයට අවශ්‍ය මානසිකත්වය අප දැන් සිටම නිර්මාණය කළ යුතුයි.

‘ මිය යන රෝගීන් ගණන, ආසාදිතයන් ගණන දෙස බලා සිටීමෙන් පමණක් ඵලක් වන්නේ නැහැ. ඒ නිසයි අප ඉහත කර්මාන්ත පුනරුද යුගය දෙස බලාගෙන මේ මොහොතේ කටයුතු කිරීමට පටන් ගත්තේ. කොරෝනා වසංගතයත් සමඟ සංවාදයක් මතු වූවා, ‘අපට දැඩිසත්කාර ඒකක ඇඳන් පන්සියයකට වඩා නැහැ’ කියා. එයට උත්තර සෙවීමට යෑමේදී තමයි මට දේශීය කර්මාන්තකරුවකු වන රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ අධිපති සුනිල් ප්‍රනාන්දු මහතා සිහිපත් වූයේ. මම ඔහුගෙන් මේ පිළිබඳ ලිඛිතව ඉල්ලීමක් කළා. ඉල්ලීමට අනුවයි මේ ආයතනය ඉතා කෙටි කලකින්, දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන ඕස්ට්‍රේලියාවේ රෝහල්වල දැඩිසත්කාර ඒකක සඳහා යොදාගන්නා ඉහළ ප්‍රමිතියෙන් යුතු ඇඳකට සමාන ඇඳක් නිෂ්පාදනය කළේ. ඉදිරියේ දී මේ දැඩි සත්කාර ඒකක ඇඳ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරන ආකාරයට වැඩි දියුණු කිරීමටත් මේ ආයතනය පොරොන්දු වී තිබෙනවා.

දැනටමත් සෞඛ්‍ය අංශවලින් මේ සඳහා ඇණවුම් ලැබී තිබෙනවා. අප ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ දානපතීන්ගෙන්, ‘කරුණාකර රජයේ රෝහල් සඳහා මේ ඇඳන් ලබාදීමට ඔබගේ දායකත්වය ලබාදෙන්න කියා. ආනයනික දැඩිසත්කාර ඒකක ඇඳක් සඳහා වැය වන මුදලින් හරි අඩක් පමණයි මේ සඳහා වැය වන්නේ. එය රටට වගේම රජයේ සෞඛ්‍ය සේවා අංශවලට සුබාරංචියක්.

‘මේකෙන් පෙන්නුම් කරන්නේ අපේ දේශීය කර්මාන්තකරුවන්ගේ දක්ෂතාවයි. එපමණක් නොවෙයි තරුණ පිරිස්වලට රැකියා සුලබවීමක් බලාපොරොත්තු විය හැකියි. කොරෝනා වෛරසය කියා දුන් පාඩම හරියට ඉගෙන ගන්නවා නම් අපට පුළුවන් වෙන්න ඕනේ, අපට වුවමනා දේ අපේ රටේම නිපදවා ගන්න. මේ වසංගතේ ජය ගැනීමෙන් පසු නිර්මාණය වන්නේ අපේ රටේ කර්මාන්තකරුවාට, ඔහුගේ නිෂ්පාදනවලට ඉහළ අගයක් ලැබෙන වාතාවරණයක්. පිට රටින් ලැබෙන කෑමබීම කමින්, පිටරටින් ලැබෙන යානවාහන පදිමින් ගත කළ කාලපරිච්ඡේදය මෙතැනින් පසු අවසන් කරමු. දේශීය නිෂ්පාදනයට මුල්තැන දෙන කාලපරිච්ඡේදයකට යෑමට ඉදිරියේ දී අපට සිදුවේවි. ඒ නිසා නැව් දිහා බලාගෙන හිටපු යුගය වෙනුවට අපේ පොළොවෙන්-අපේ දෑතින් වැඩ ගන්නා යුගයක් තමයි කොරෝනා අභියෝගය ජය ගැනීමෙන් පසු අප ඉදිරියේ දී නිර්මාණය වෙන්නේ.”

මේ අවස්ථාව සඳහා රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ සභාපති සුනිල් ප්‍රනාන්දු, අධ්‍යක්ෂ සහන් ප්‍රනාන්දු, ඇමැතිඋපදේශක සුදේශ් නන්දසිරි, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. එල්. නසීර්, අමාත්‍යාංශ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් ලලන්ත ගුණසේකර යන මහත්වරු එක්ව සිටියහ.

නදී මාණික්කගේ

නව අදහස දක්වන්න