කොරෝනා මඬින්න සමාගම්,සංවිධානවලින් මිලියන 10.3ක වෛද්‍ය උපකරණ | දිනමිණ


 

කොරෝනා මඬින්න සමාගම්,සංවිධානවලින් මිලියන 10.3ක වෛද්‍ය උපකරණ

සන්ධ්‍යා කරුණාරත්න

කොවිඩ් -19 වෛරසය මර්දනයට හා පාලනයට මෙරට සමාගම්, සංවිධාන එක්ව ද්‍රව්‍යමය ආධාර වශයෙන් රුපියල් මිලියන 10.3 කට අධික වටිනාකමකින් යුක්ත වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කිරීම පෙරේදා (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේදි සිදුකෙරිණ.

යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම මඟින් රෝහල්වල හා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල සුව සේවා සත්කාර සිදු කරන කාර්ය මණ්ඩලයේ පරිහරණයට භාවිතා කිරීමට පුද්ගල ආරක්ෂිත ඇදුම් කට්ටල 4000 ක් (ppe kits) සහ උෂ්ණත්ව මානක තොගයක් ද එහි අලෙවි අධ්‍යක්ෂ අරුන මාවිල්මඩ සහ මාධ්‍ය ප්‍රධානි චන්න තෙන්නකොන් මහත්වරුන් විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පරිත්‍යාග කිරීම පෙරේදා (04) සිදුකෙරිණ .මෙම උපකරණයන්හි වටිනාකම රුපියල් ලක්ෂ 45 කි.

වෛරසය ආසාදිත හා සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන වෛද්‍ය හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාවය රැක ගැනීමේ අරමුණෙන් DIALOG AXIATA පුද්ගල සමාගම මඟින් රුපියල් ලක්ෂ 20 කට අධික වටිනාකමකින් යුත් දුර සන්නිවේදන ටෙලි සාකච්ඡා පැවැත්වීමේ හැකියාව ඇති තාක්ෂණික උපකරණ (TELE COMMUNICATINAND TELECONTRECING EQUIPMENT) තොගයක් එම සමාගමේ තිරසාර අංශයේ ප්‍රධානි චරිත රත්වත්ත මහතා විසින් ඇමැතිවරිය වෙත බාරදීම සිදුකෙරිණ.

විදුලි හා යාන්ත්‍රික කොන්ත්‍රාත් සමාගමක් වන A.D. PERERA & SON සමාගම මඟින් රෝහල්වල සුව සේවා සත්කාර සිදුකරන කාර්ය මණ්ඩලයේ පරිහරණය සඳහා භාවිතා කිරීමට ශල්‍ය ඇඳුම් කට්ටල 1555 ක් සහ ශල්‍ය ඇඳන් 40 ක් ප්‍රදානය ද සිදුකෙරිණ. එහි වටිනාකම රුපියල් ලක්ෂ 30 කට අධික වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දුමින්ද දිසානායක මහතා විසින් වෛද්‍ය හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාවය රැක ගැනීම සඳහා මුහුණු ආරක්ෂිත උපකරණ (Face Shield) තොගයක් ප්‍රදානය කිරීම ද පෙරේදා (04) සිදු කෙරිණ. එහි වටිනාකම රුපියල් ලක්ෂ 03 කි.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරු කමිටුවේ සාමාජිකයන් විසින් ද පරීත්‍යාගක් පෙරේදා (04) සිදු කෙරිණ. වෛද්‍ය හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පරිහරණය සඳහා භාවිතා කිරීමට පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල 50 ක් ලබා දුන් අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 5 කට අධික ය.

නව අදහස දක්වන්න