වසංගත මර්දනයට දකුණ සීරුවෙන් | දිනමිණ

වසංගත මර්දනයට දකුණ සීරුවෙන්

ආචාර්ය විලී ගමගේ දකුණු පළාත් ආණ්ඩුකාර

කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය සඳහා තවමත් ගෝලීය වශයෙන් නිශ්චිත ඖෂධයක් හඳුන්වා දී නොමැත. එවැනි පසුබිමක සමස්ත ලෝක වාසීන් ඉතා වගකීමෙන් යුතුව හැසිරීමට වග බලා ගත යුතුය.

දිනෙන් දින කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් පවතී. මෙමඟින් පෙන්නුම් කරන්නේ ජනතාවගේ හැසිරීම් රටාව මීට වඩා ප්‍රශස්ත මට්ටමකට පැමිණිය යුතු බවයි. එවැනි තත්ත්වයක් යටතේ තමාගේ සෞඛ්‍යය , පවුලේ අන් අයගේ සෞඛ්‍යය මෙන් ම සෙසු අයගේ සෞඛ්‍යය අනතුරේ නොදමමින් සාමූහික හැඟීමකින් කටයුතු කිරීමට මහජනතාව වගබලාගත යුතුය.

රට බලවත් අවධානමකට ලක් වී ඇති මොහොතක දකුණු පළාතේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධ ව අවධානමක් නොමැති බව සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත. එහිදී අප පළාත තුළ පළාත් පාලන ආයතන, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාමසේවක නිලධාරීවරු තම ක්ෂේත්‍රය තුළ කැපවීමෙන් කටයුතු කරමින් සිටිති. මෙම තත්ත්වය යහපත්ව කළමනාකරණය කර ගැනීමට හැකිවී තිබෙන්නේ ඉහත කණ්ඩායම්වල දායකත්වය නිසි ආකාරව ලබාදීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ගාල්ල කරාපිටිය රෝහල හා හම්බන්නොට යන රෝහල්වල මූලික වශයෙන් ප්‍රතිකාර සිදු කෙරෙන අතර පළාත් රෝහල් අටක මේ සඳහා ප්‍රතිකාර කෙරෙයි. රෝගීන් මේ වන විට ප්‍රතිකාර ලබන අතර රෝගීන් ප්‍රමාණය දිස්ත්‍රික්කය තුළ පහළ අගයක් ගනී.

කොරෝනා වෛරසය පැතිරුණු පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන් සමීපව ඇසුරු කළ අය මෙන් ම අනෙකුත් ඇසුරු කළ අය පිළිබඳ තොරතුරු දත්ත රැස් කරමින් ඔවුන් සියලුදෙනා නිරෝධායනයට යොමු කරන්නට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතී.

දකුණු පළාතේ ජනගහනය 2 637 000 කි. ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුළ මැතිවරණ කොට්ථාස 22කි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 47ක් ද ග්‍රාම නිලධාරී කොට්ථාස 2 121ක් ද, පළාත් පාලන ආයතන 49ක් ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ථාස 49ක් ද වේ. පළාත තුළ නිවාස සංඛ්‍යාව 632 005කි. කෘෂි, කර්මාන්ත හා සේවා ප්‍රධාන ආර්ථික අංශ වන අතර වැඩි පිරිසක් කෘෂි අංශයෙන් යැපෙන්නන් වේ. එම තත්ත්වය හේතුවෙන් ආහාර අර්බුද පළාත තුළ ඇති වී තිබෙන්නේ අඩු වශයෙනි.

මෙම වසංගතයට අප බිය විය යුතු නැත. කොරෝනා වෛරසය වැඩි වශයෙන් ජනතාවට පැතිරෙන ස්ථානය ලෙස පාරිභෝගික වෙළෙඳ සල් ආදිය පෙන්වා දිය හැකිය. එමගින් මෙම විෂබීජ පැතිරීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ බව සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දී ඇත.පසුගිය දිනවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඇඳිරි නීතිය පැය කිහිපයකට ලිහිල් කරන ලදි.වෙළෙඳ සල් තුළදී ජනතාවට ඇති විය හැකි අවදානම් සහගත බව, අපහසුතා මග හරවා ගැනිමට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගත හැකි ක්‍රමවේද නිසි අයුරින් සකස් කර ඇත.

ඇදිරි නීතිය කාලය තුළ ඇතැම් පුද්ගලයන්ගේ හැසිරීම අසතුටු දායක තත්ත්වයක පවතින නිසා නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා ඔවුනට අවශ්‍ය ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වල සිටම මිලදී ගැනීමේ හා ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික් , ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමෙන් මෙම වැඩපිළිවෙළ සක්‍රීය ලෙස ක්‍රියාත්මක වීමේ ප්‍රවණතාවයක් දැක ගත හැකිය. මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කර ජනතාව නිවෙස්වලින් බැහැරට පැමිණීම වළක්වා රෝග ව්‍යාප්තිය මර්දනය කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ.

කොරෝනා වෛරසය මර්දනය සඳහා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා වෙත මුදල් හා ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල අප විසින් ලබා දී ඇත. මෙම වසංගතය පැතිරී යාම පාලනය සඳහා ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ ඇතුඵ බලධාරීන් විධිමත් ක්‍රියාමාර්ග ගෙන ඇත. කොරෝනා වෛරසය පැතිර යෑම වැළැක්වීමේ අරමුණ ඇතිව, මහජනයා සමාජයේ ගැවසීම අවම කිරීමට මේ වන විටත් දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නිතිය දකුණු පළාතේත් ක්‍රියාත්මක වෙි.

ඇඳිරි නීතිය කඩකරන්නන්ට එ‍රෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය ද මාර්ග බාධක රාජකාරී සඳහා ත්‍රිවිධ හමුදාව අනුයුක්ත කර සිටී.

කොරෝනා මැඩ පැවැත්වීමේ කාර්යයට බාධා වන අයුරින් හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට ආරක්ෂක අංශ මේ වන විට පියවර ගෙන ඇති අතර එවැනි කටයුතුවල නිරත වන තවත් පිරිස් පිළිබඳ විමර්ශන සිදු වෙමින් පවතී.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය මැඩපැවැත්වීමට පොදු ස්ථානවල විෂබීජ හරණය, ජල ප්‍රශ්නයට මුහුණ දී සිටින ජනතාවට ජලය සැපයීම, පාරිභෝගික භාණ්ඩ ලබා ගැනීමේ පහසුකම් සැලසීම හා ආර්ථික ගැටලුවලට මුහුණ පා සිටින අයට සහන සැලසිම අප පළාත තුළ සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන ආකාරයක් දැකගත හැකිය.

මෙවන් තීරණාත්මක මොහොතක පවා ඇතැම් අය වගකීමෙන් තොරව ක්‍රියා කරනු දක්නට ලැබේ. වෛරස පැතිරයාම වළක්වා ගැනීම සම්බන්ධයෙන් අප කුමන ආකාරයේ පියවර ගත්තද එම කාර්යයෙහි වැඩිම වගකීම ඇත්තේ සාමාන්‍ය ජනතාව වෙතය. මේ කුමන ක්‍රියාමාර්ග අනුගමනය කළ ද මේ මොහොතේ තමාගේ ආරක්ෂාව සලසා ගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.

පමුදිනි සමරනායක

නව අදහස දක්වන්න