කොරෝනා ඇඳිරියේ කහ පාට මරණය ජය ගැනීම | දිනමිණ


 

කොරෝනා ඇඳිරියේ කහ පාට මරණය ජය ගැනීම

මම කියැවීමි. ඒ කහ පාට මරණයක් පිළිබඳය. ඒ මෙසේය: කාන්තාරයේ ඈතින් මතු වූ ඒ කහ පාට දූලි සුළිය මෑත සිටි ඊජිප්තු නිලධාරියාට පෙනුණේ ඉතා කුඩා වලා රොදක් ලෙසය. එහෙත් ඔහු සමඟ ගිය සේවකයා එය දුටුවේ කහ පාට මරණය ලෙසය. සේවකයා නිවැරදි විය. ඒ දූලි වලාව කාන්තාරයේ වැලි කුණාටුවක ආරම්භය විය. ඊට අසුවුවහොත් ඔවුන් දෙපළ, තමන් ගමන් ගත්, රන් පිරවූ සිය අශ්ව කරත්තය සමඟ වැළලී යනු නොඅනුමාන බව සේවකයා දැන සිටියේය. එබැවින් කරත්තය මෙහි අතැර, කඳුකරය දෙසට වහා පළා යා යුතු බවට සේවකයා යෝජනා කළේය.

ඔවුන් මේ ගමන් කරමින් සිටියේ බැබිලෝනියාවේ රජු බැහැ දැකීමටය. ඊජිප්තු රජුගෙන් සංදේශයක් සහ තුටු පඬුරු ලෙස රන්ද රැ⁣ගෙන යන මේ ගමන අතරමඟ නැවැත්වීමට නිලධාරී තෙම කැමැති නොවීය. සිඟාලයකු මෙන් රන්වලට කෑදර බැබිලෝනියානු රජු දැකීමට සංදේශය පමණක් රැගෙන යෑම පහසු නැති වග හේ දැන සිටියේය. එහෙත් මේ ගැන තැවෙමින් සිටියහොත් රන් නොව සිය ජීවිතද කහ පාට වැල්ලෙහි සැඟව යන වග සේවකයා සිය නිලධරයාට අවධාරණය කළේය. සේවකයා කියූ දේ තේරුම්ගත් නිලධරයා වස්තුව සහිත අශ්ව කරත්තය අතැර සේවකයා දන්නා කෙටි මාර්ග ඔස්සේ කඳුකරයට ගොස් ජීවිත බේරා ගත්තේය. පසුකලෙක ඔවුන් රන් සමඟ නැවත බැබිලෝනියාවට යන්නට ඇත.

අපද මේ ගෙවමින් සිටින්නේ එවැනි කහ පාට මරණය අත්දකින අවස්ථාවක් යැයි මට සිතේ. උක්ත කතාවේ සේවකයාගේ චරිතය අපට සමාන කළ හැකිවන්නේ වෛද්‍යවරුන්ටය. නිලධාරී තැන පාලකයන්ට සමාන කළ හැකිය. මේ කතාවේ නිලධරයා තරම්ම ඉක්මන් නොවුණත්, අපේ පාලන අධිකාරිය වඩා ප්‍රමාද නොවී රට "ලොක් ඩවුන්" කළේය. පාසල්වලට මෙන්ම ආයතනවලටද නිවාඩු දුන්නේය. එහිදී ඇතැමුන් කොරෝනා වෛරසයේ අවදානම තේරුම් ගත්තද, ඇතැමුන් එය විනෝදයක් කරගත් බව පෙණිනි. ඒ නිසා ඇඳිරි නීතිය දමා, ජනතාවට හුරු විදියට ජනතාව එකතැන රැඳවීමට බලධාරීන්ට සිදුවිය. බලධාරීන් එවැනි තීරණයක් ගෙන ඇත්තේ රටේම ජනතාවගේ ජීවිත රැක ගැනීම පිණිස මිස, වෙනත් පෞද්ගලික වුවමනාවක් මත නොවේ.

මේ යථාර්ථය සෑම ජන කොටසකම බුද්ධිමත් පුරවැසියන් විසින් වහා තේරුම් ගත යුතුය. මෙතැන ඇත්තේ ආගමික හිංසනයක් හෝ ජාතිවාදී ගැටලුවක් නොව

වසංගතය මැඬලීමට අවශ්‍ය පියවර ගැනීම බව බුද්ධිමත් පුරවැසියන් සිය ප්‍රජාවට පැහැදිලි කර දිය යුතුය. ඒ පැහැදිලි කරදීම් කළ යුතුවන්නේ විශ්වාසනීයවය. මිනිසකුට ඇති අකුරු ලිවීමේ හා කියවීමේ හැකියාවෙන් ඔහු හෝ ඇය බුද්ධිමත් යැයි කිව නොහැකිය. ඇතැම් විට යමකු පාසලෙන් ලබන දැනුමට වඩා සංස්කෘතිකමය වශයෙන් ගන්නා මිථ්‍යාව පිළිගන්නා බවක් පෙනී යයි. මේ තත්ත්වය එක් ජන වර්ගයකට පමණක් සීමා වූ කරුණක් නොවේ. ශ්‍රී ලංකාවේ සෑම ජන කොටසකම මෙවැනි පුද්ගලයන් සිටින බව විවිධ හැසිරීම්වලින් පෙනී යයි.

මෙහිදී වඩා සුදුසුම ක්‍රියා මාර්ගය වනුයේ ඒ ඒ ප්‍රජාවේ බුද්ධිමතුන් විසින් තම ප්‍රජාව දැනුවත් කිරීමට ඉදිරිපත් වීමය. ආණ්ඩුවද මෙවැනි බුද්ධිමතුන්, විශ්වවිද්‍යාලය ආචාර්යවරුන් එම කාර්යයට යොමු කිරීම අත්‍යවශ්‍යය වේ. මෙහිදී ආණ්ඩුව මැදිහත් වුවත් නැතත් සිය ප්‍රජාව දැනුවත් කිරීම බුද්ධිමතුන්ගේ වගකීම වේ.

මෙහිදී සියලු පාලකයන්ද කටයුතු කළ යුතු වන්නේ බුද්ධිමත් ලෙසය. ආගමික චාරිත්‍ර හෝ සංස්කෘතිකමය විශ්වාස නිසා වෛරසය පැතිරී යෑමේ අවදානමක් ඇත්නම්

කළ යුතු වන්නේ, මේ අවස්ථාවේ ඊට ඉඩ නොදී සිටීමය. තම ඡන්දදායකයන්ට නිවැරදි දේ අවබෝධ කර දීමය. එසේ නොමැතිව ඡන්ද අහිමි වේයැයි යන බියෙන් රෝගය පැතිරීමට හේතු වන ලෙස ක්‍රියා කළහොත් එයින් සිදුවන්නේ ඡන්දය පමණක් නොව සිය ඡන්දදායකයන්ගේ ජීවිතද අහිමි වී යෑමය.

ගිය නුවණ ඇතුන් ලවා හෝ අද්දාගත නොහැකිය. එබැවින් මේ අවස්ථාවේදී කුමන ආගමකට හෝ ජන වර්ගයකට අයත් වුවත් වසංගතය මැඬලීමට සියලු ජනතා නියෝජිතයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතුය; සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදවලට ගරු කළ යුතුය. පොදු නීතියට අවනත විය යුතුය. මන්ද කොරෝනා වෛරසය යනු ආගම් හෝ ජාතීන් නැතිනම් දුප්පත් පොහොසත් භේද බලමින් වැලදෙන රෝගයක් නොවන බැවිනි.

උක්ත කතාවේ සේවකයා හා නිලධාරියා මෙන් අපද සියල්ල අතහැර වෛරසයෙන් ආරක්ෂා වීම වැදගත්ය. සියල්ලට වඩා වටින්නේ ජීවිතය. එහිදී සේවකයා හා නිලධරයා, පණ ඇති අශ්වයා ගැන හෝ අශ්ව කරත්තය නැතිනම් රන් තොගය ගැනවත් බැබිලෝනියාවේ රජු ගැනවත් සිතුවේ නැත. ඒ දේවල් ආරක්ෂා කරගන්නට ඔවුන් වෙර දැරුවේ නම් ඒ සියල්ල සමඟ ඔවුන්ට සිය ජීවිතද අහිමි වන්නේය.

මේ කතාව අවසානයේ ඔවුහු කඳුකරයට පළා යන අතර, කහ පාට මරණයෙන් හෙවත් වැලි කුණාටුවෙන් බේරෙති. ඊළඟට කඳුකරයේ ඉතා කාරුණික රජකුගේ අනුග්‍රහය ඇතිව යළි ඊජිප්තුවට යති.

අපටද සියල්ල නැවත ආරම්භ කළ හැකිය. එහෙත් එසේ කළ හැකි වන්නේ බුද්ධිමත් ලෙස සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ක්‍රියා කළහොත් පමණි. එසේ නොවුණහොත් ⁣අප වෙත පැමිණ ඇති කහ පාට මරණයෙන් හෙවත් කොරෝනා වෛරසයෙන් බේරීමට අපට නොහැකි වනු ඇත. මේ යථාර්ථය තේරුම් ගෙන සිය ජනතාව නිසි ලෙස හසුරුවා ගැනීම සියලු ආගම් හා ජන වර්ග නියෝජනය කරන බුද්ධිමතුන්ගේ, ආගමික නායකයන්ගේ මෙන්ම ජනතා නියෝජියන්ගේද වගකීම වනු ඇත. මේ නායකත්වය නිසි ලෙස ක්‍රියා කළහොත් කොරෝනාවේ "කහ මරණය" පරාජය කිරීම එතරම් අසීරු නොවේ. එහෙත් මේ යථාර්ථය තේරුම් නොගෙන කටයුතු කළහොත් "කහ මරණය"ට හෙවත් කොරෝනා වෛරසයට අප පරාජය කිරීමට හැකියාව ඇති බවත් අවධාරණ කිරීමට කැමැත්තෙමි.

 

සුමේධා නවරත්න

නව අදහස දක්වන්න