කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්න | දිනමිණ


 

කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්න

හේතුව අධි සාන්ද්‍රණ විෂබීජ නාශක භාජනයකට ගිනි ඇවිලීමක්

කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ ඊයේ (05) හටගත් ගින්නට හේතුව අධි සාන්ද්‍රණයෙන් යුත් විෂබීජ නාශක භාජනයකට ගිනි ඇවිලීමක් බව ඒ සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

මෙම ගින්න හටගත් ඖෂධ ගබඩාව පිහිටා තිබී ඇත්තේ මහල් හතරකින් යුක්ත ගොඩනැඟිල්ලක පළමු මහලේය. ගින්න පළමු මහලෙන් ඔබ්බට පැතිර යාමට ඉඩ නොදී එය වළක්වා ගැනීමට කුරුණෑගල ගිනි නිවීමේ ඒකකයත් පොලිස් විශේෂ කාර්ය බළකායත් යුද හමුදාවත් රෝහල් කාර්ය මණ්ඩලයත් පොලිසියත් සමත්ව ඇත. ඖෂධ ගබඩාවේ විශාල වශයෙන් ඖෂධ ගබඩා කර තිබී ඇති අතර එම ඖෂධවලින් විශාල ප්‍රමාණයක් ද විනාශ වීමට ඉඩ නොදී එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට හැකියාව ලැබුණු බව කුරුණෑගල පොලිසිය සඳහන් කළේය.

ගින්න හටගන්නා විට ගොඩනැඟිල්ලෙහි තෙවැනි මහලේ රෝහල් කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙක් සිරවී සිට ඇත. ඔවුන්ව ද නිරුපද්‍රිතව බේ රාගත් බව පොලිසිය සඳහන් කරයි. මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති අතර දේපොළ හානිය ඊයේ සවස් වන තුරුම තක්සේරු කර නොතිබුණි.

විෂබීජ නාශකයක් ලෙස භාවිතා කරන ටී.සී.එල්. නමැති රසායනික ද්‍රව්‍ය අඩංගු භාජන හතරක් සෞඛ්‍ය කාර්ය සාහයකයෙක් රැගෙන යමින් සිටියදී ඒ එක් භාජනයකට ගිනි අවි ඇවිලී තිබෙන බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. එම අවස්ථාවේ දී ගින්න නිවීමට ජලය දැමීමත් සමඟ රසායනිකය ජලය සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් ගින්න පැතිර යාම සිදුව තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න