ආර්ථික අපහසුතා ඇත්තන්ට දෙන රුපියල් 5,000 සංචාරක ක්ෂේත්‍රයේ අයටත් | දිනමිණ


 

ආර්ථික අපහසුතා ඇත්තන්ට දෙන රුපියල් 5,000 සංචාරක ක්ෂේත්‍රයේ අයටත්

ඇමැති ප්‍රසන්න රණතුංග

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය නිසා ආර්ථික අපහසුතාවයට පත්ව සිටින අයට ලබා දෙන රුපියල් 5,000 දීමනාව සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින අයටද ලබා දීමට රජය තීරණය කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් මත ජනාධිපති කාර්ය සාධක බළකාය මෙම තීරණයට එළැඹි බවද ඇමතිවරයා පෙන්වා දෙයි. ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ නිරත මේ වන විට රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අයට ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, ග්‍රාම නිලධාරීගෙන් සමන්විත කමිටුව වෙත අදාළ ඉල්ලීම ඉදිරිපත් කළ හැකිය. මෙම රුපියල් 5,000 දීමනාව ලබා දීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන් තෝරා ගැනීම සිදු කෙරෙන්නේ එම කමිටුව මඟිනි. අදාළ කමිටුවට මේ සම්බන්ධ නිර්නායක රජය මඟින් පැහැදිලිව දැනුම් දී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කරයි.

මේ වන විට කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ. මේ නිසා සෘජුවම සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නිරතව සිටි විශාල පිරිසක් ආර්ථික අපහසුතාවයන්ට ලක්ව තිබේ. වක්‍රව සංචාරක ක්ෂේත්‍රයේ යැපෙන විශාල පිරිසක් ද ඒ අතර වෙති. ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹි බවයි. මීට අමතරව ත්‍රීරෝද රථ රියදුරන්, පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වැනි ඇඳිරිනීතිය නිසා සිය ජීවිකාව කර ගත නොහැකි සියලු පාර්ශ්වවලට මෙම දීමනාව ලබා දීමට රජය තීරණය කර ඇති බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටී.

නිමල් රාජපක්ෂ/මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න