ලංකාවේ කොරෝනා මැඩලීමේ සටනට ජාත්‍යන්තර රතුකුරුසයේ සහාය | දිනමිණ


 

ලංකාවේ කොරෝනා මැඩලීමේ සටනට ජාත්‍යන්තර රතුකුරුසයේ සහාය

මහින්ද අලුත්ගෙදර

බන්ධනාගාරවලට සහ තෝරා ගත් පොලිස් ස්ථානවලටත් ආධාර

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට ජාත්‍යන්තර රතුකුරුස කමිටුව තීරණය කරයි.

මෙම වෛරසය පැතිර යාම මර්දනයේ දී රැඳවූවන්ගේ සහ ජනතාවගේ රැකවරණය වෙනුවෙන් ජාත්‍යන්තර රතුකුරුස කමිටුව ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන අතර මෙහිදී ශ්‍රී ලංකා බලධාරීන් දරන ප්‍රයත්නයට ආධාර කිරීම තම අරමුණ බව ජාත්‍යන්තර රතුකුරුස කමිටුව පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ජාත්‍යන්තර රතුකුරුස කමිටුව විසින් ප්‍රතිචාර සැලැස්මක් යෝජනා කනු ලැබ ඇති අතර එයට අධිකරණ අමාත්‍යාංශය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව සහ වෙනත් අදාළ බලධාරීන් සමඟ බෙදා ගත් නිර්දේශ ඇතුළත් වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානී ලොව්කාස් පෙට්‍රිඩිස් මහතා පෙන්වා දෙන්නේ කොවිඩ් 19 වෛරසය පැතිර යාම මර්දනය කිරීමට මෙරට බලධාරීන් දරන ප්‍රයත්නයට ආධාර කිරීමේ ශ්‍රී ලංකා වැඩසටහන මහජන සෞඛ්‍ය, අධිකරණ වෛද්‍ය, රැඳවූවන්ගේ සෞඛ්‍ය, විෂබීජහරණය සහ අපද්‍රව්‍ය කළමනාකරණයේ දී විශේෂිත තාක්ෂණ ඥානය සැලකිල්ලට ගනිමින් සකස් කරගෙන ඇති බව ජාත්‍යන්තර රතුකුරුස කමිටුව පවසයි.

රැඳවූවන්ට සැලකීම සහ රැඳවුම් තත්ත්වයන් නිරීක්ෂණය කිරීම කෙරෙහි ඉහළම ප්‍රමුඛතාවක් දක්වන ජාත්‍යන්තර රතුකුරුස කමිටුව 1989 සිට ශ්‍රී ලංකාවේ රැඳවුම් ස්ථානවල චාරිකා කරමින් සිටි ජාත්‍යන්තර රතුකුරුස කමිටුව ස්වස්තතා ද්‍රව්‍ය සහ පුද්ගල ආරක්ෂණ උපකරණ සංවෘත බන්ධනාගාර 24කට සහ ප්‍රධාන පොලිස් ස්ථාන 5ක රැඳවුම් ස්ථානවලට බෙදා දීම මාර්තු මස 22 වැනිදා ආරම්භ කළේය. මෙම ද්‍රව්‍ය බෙදා දීමේ අවස්ථාවලදී විවිධ රැඳවුම් බලධාරීන් සමඟ මෙම ද්‍රව්‍ය පරිහරණය සහ අත්‍යවශ්‍ය පූර්වාරක්ෂක ක්‍රියා විධි විස්තර කිරීමේ ප්‍රචාරණ සැසි ද පැවැත්විණි.

බන්ධනාගාරවලට සහ තෝරා ගත් පොලිස් ස්ථානවලට බෙදා දීමට අවශ්‍ය සැපයුම් ප්‍රසම්පාදනය පිණිස දිවා රාත්‍රී නොබලා සේවයේ යෙදී සිටිති. මේ දක්වා රට පුරා 20,000කට වැඩි ප්‍රතිලාභීන් පිරිසකට ආධාර සපයා තිබෙන අතර මෙම උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බව ද ලොව්කාස් මහතා පවසයි. ඉදිරි සතිවලදී තවදුරටත් අදාළ බලධාරීන් හමුවී ඔවුන්ගේ අවශ්‍යතා හා ප්‍රමුඛතා සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා ගැනීමට සහ වර්ධනය වෙමින් පවතින තර්ජනය හමුවේ වඩාත් ඵලදායී අයුරින් දායක විය හැකි ආකාරය ගැන තක්සේරු කිරීමට ක්‍රියාකරන බව ද හෙතෙම පෙන්වා දෙයි.

ජාත්‍යන්තර රතුකුරුස කමිටුව දිගින් දිගටම ජාත්‍යන්තර රතුකුරුස සහ රතු අඩසඳ සමාජ සම්මේලනය ඇතුළු මෙම සංවිධානයේ හවුල් සංවිධාන සමඟ හවුලේ වැඩකටයුතු කරගෙන යයි. එමෙන්ම එහි ජාතික හවුල්කරු වන ශ්‍රී ලංකා රතු කුරුස සමාජයට ද්‍රව්‍ය ආධාර සපයමින් සහ කෝවිඩ්-19 වෛරසය පිළිබඳ දැනුවත් කිරීම පිණිස මෙරට භාෂාවලින් සකසා ඇති පණිවුඩ අඩංගු පෝස්ටර් සහ අත් පත්‍රිකා බෙදා හරිමින් ආධාර කරයි .

නව අදහස දක්වන්න