දිස්ති‍්‍රක්ක 19ක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ | දිනමිණ


 

දිස්ති‍්‍රක්ක 19ක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

දිස්ති‍්‍රක්ක 19 ක් සඳහා පැනවූ ඇදිරි නීතිය අද (06) උදෑසන 6.00 ට ලිහිල් කෙරුණි.

මෙලෙස ඇදිරි නීතිය ලිහිල් කෙරුණේ කොරෝනා වෛරසයේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්ක හැර සෙසු දිස්ති‍්‍රක්කයි.

එම දිස්ති‍්‍රක්කවලට ලිහිල් කෙරුණු ඇදිරි නීතිය පස්වරු 2.00 ට යළි පැනවීමට නියමිතයි.

මෙම දිස්ති‍්‍රක්කවලට පැනවෙන ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි පොලිස් මූලස්ථානය කියාසිටියේ.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්ක සදහා කි‍්‍රයාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව බලාත්මකයි.

කෙසේවෙතත් කවර දිස්ති‍්‍රක්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේ වතු හා අපනයන භෝග නිෂ්පාදන කි‍්‍රයාවලියේ නිරත ජනතාවට ඒ සඳහා අවසර ලබාදී තිබේ.

එහෙත් අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ති‍්‍රක්ක අතර ගමනාගමනය තවදුරටත් සම්පූර්ණයෙන්ම තහනම්. මාධ්‍ය සේවා මෙන්ම සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප‍්‍රවාහනය සඳහාද ඉඩ ලබාදී ඇත.

පොලිස් මූලස්ථානය අවධාරණය කළේ අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සදහා යොදා ඇති ක‍්‍රමවේද අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම කි‍්‍රයාත්මක කරන බවයි.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි සේවා සැපයීමටයි රජය සියලූ විධිවිධාන සලසා ඇත්තේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන කි‍්‍රයාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එම කි‍්‍රයාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර අද සිට ලබන සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස රජය ඊයේ (05) ප‍්‍රකාශ කලේය.

ඉකුත් සතියද නිවසේ සිට වැඩකරන සතියක් ලෙසයි නම් කර තිබුණේ. මේ අතර අද දින අරණායක පොලිස් බල ප‍්‍රදේශයට ඇදිරිනිතීය ඉවත් නොකරන බව අරණායක පොලිසිය විසින් ඊයේ (05) රාති‍්‍රයේ ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් ජනතාව දැනුවත් කළ බව ද සදහන්.

ඊට හේතුව ලෙස ප‍්‍රකාශ කෙරුණේ ප‍්‍රදේශයෙන් තරුණයෙකු හදිසි රෝගි තත්වයකින් ඊයේ පස්වරුවේ ජීවිතක්‍ෂයට පත්වීමයි.

 

 

නව අදහස දක්වන්න