ගෙදර සිට සිල් ගැනීම! | දිනමිණ


 

ගෙදර සිට සිල් ගැනීම!

පොහොය දිනට නොවැරදීම පන්සල් යෑමත්, ඉඩ ප්‍රස්තා අනුව අටසිල් සමාදන් විමත් බෞද්ධයාගේ සිරිත ය. දිනපතා පස්වරක් දෙවියන් යැදීම ඉස්ලාම් භක්තිකයාගේ සිරිත ය. ‍කතෝලික හින්දු ආදී අනෙකුත් සමය සමයාන්තරවල ද මෙබඳු වත් පිළිවෙත් තිබේ. කොරෝනා ලෝක වසංගතය කඩා වැදීමත් සමඟ ඒ සියලු වත් පිළිවෙත්වලට බාධා එල්ල වී ඇත. මේ වසංගතය ලෝක ජනතාවගෙන් බොහෝ දේ උදුරාගෙන තිබේ. පන්සලට, පල්ලියට, කෝවිලට යෑමට බාධා එල්ල වී ඇත. සාමාන්‍ය ජන ජීවිතයේ සියලු ක්‍රියාකාරකම්වලට අභියෝග එල්ල වී ඇති අතර, ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා බලවත් සටනක යෙදීමට සිදු වී ඇත. මේ අභියෝගය ජයගන්නේ කෙසේ ද? උත්තරය, ගෙදර සිට සිල් ගැනීම ය.

ලොව පවතින සියලු ආගම් හා දර්ශන බිහි වී ඇත්තේ මිනිස් සමාජයට යහපත උදාකිරිම සඳහා ය. ඉතා සරල අදහසකින් පැහැදිලි කළහොත් ආගම් හා දර්ශනවල පරමාර්ථය වන්නේ පුද්ගලයාට සැනසිල්ල හෙවත් සන්තෘෂ්ටිය උදා කිරීම ය. ඒ අනුව අභියෝග ජයගත හැකි මාර්ගය ද, සන්තෘෂ්ටිය භුක්ති විදින ආකාරය ද සෑම ආගමකම සඳහන් වී තිබේ. ඒ අනුව පන්සලට, පල්ලියට, කෝවිලට නොගිය ද පිළිවෙත් පුරමින් සන්තෘෂ්ටිය ළඟා කරගත හැකි උපාය මාර්ග පවතී. ආගම් හා දර්ශන වඩාත් නැඹුරු වන්නේ මිනිසාගේ අධ්‍යාත්මයට හෙවත් මානසික ලෝකයට ය. මේ මොහොතේ මානසික ශක්තිය වර්ධනය කර ගැනීම වඩාත් වැදගත් බව ද වසංගතය පරාජය කිරීම සඳහා එම ශක්තිය යොදා ගත යුතු බව ද සියලු ආගමික නායකයෝ පෙන්වා දෙති.

අස්ගිරි පාර්ශවයේ නායක හිමිවරුන් ද, මල්වතු පාර්ශවයේ නායක හිමිවරුන් ද බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. එහි සඳහන් වන්නේ පොහොය දා පන්සලට රැස් නොවී නිවසේ සිට ආගමික වත් පිළිවෙත්වල යෙදෙන ලෙස ය. කතෝලික සභාව මෙන්ම කාදිනල් පියතුමන් ද එම ඉල්ලීම කතෝලික බැතිමතුන් වෙත ඉදිරිපත් කර තිබේ. මේ ඉල්ලීම්වල යථාර්ථය වන්නේ ජනතා රැස්වීම නැවැත්වීම ය. කොරෝනා වසංගත‍යේ ව්‍යාප්තියට බලපාන ප්‍රධාන සාධකය හැටියට සැලකෙන්නේ ජනතාව ඒකරාශී වීම ය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරෙන වයිරසයකින් සමන්විත වසංගතයකි. ආගමික මධ්‍යස්ථාන වෙත නොගිය ද පිළිවෙත් පිරීමෙහි හැකියාව පවතී. ඒ අනුව සිදුවිය යුත්තේ ආගමික නායකයන්ගේ උපදේශනයට ගරු කිරීම ය.

වලගම්බා රජුගේ රාජ්‍ය පාලනයට පූර්ව අවදියෙහි මහා දුර්භික්ෂයක් රට පුරා පැතිර ගියේ ය. එය කෙතරම් දරුණු ද යත්, වසර දොළහක් පුරාවට දුර්භික්ෂය පැවතියේ ය. බැමිණිතයාසාය ලෙස එය හැඳින්විණි. එදා සතුරු ආක්‍රමණ එක අතකින් පැවැති අතර, අරාජික යුගයක් ද බිහි වී තිබිණි. තවත් අතෙකින් කෘෂිකර්මය බිඳ වැටී තිබිණි. එහෙත් බුද්ධ ශාසනය විනාශ වුයේ නැත. බෞද්ධයෝ හැකි අයුරින් වත් පිළිවෙත් ඉටු කරමින් රට එක්සේසත් කිරීමට ද දායකත්වය ලබා දුන්හ. එහි ප්‍රතිඵලය වුයේ රටට යළිත් සෞභාග්‍යවත් යුගයක් උදාවීම ය. 17 වන සියවසේ පැවැති සතුරු ආක්‍රමණ නිසා බෞද්ධ වෙහෙර විහාර විනාශ විය. ශාසනය දුර්වල විය. එහෙත් බුදු සසුන ගෙන යෑමට ගණින් වහන්සේලා සමත් වූහ.

ඉතිහාසයේ විවිධ කාල වකවානුවල දී දුර්භික්ෂ, වසංගත, සාගත හා තවත් ස්වභාවික විපත් ලෝකය පුරා පැතිර ගොස් තිබේ. ඒවා සැලකිය හැක්කේ ස්වභාව ධර්මයේ රීතියක් හැටියට ය. එහෙත් කිසිදු විපතක් හමුවේ මිනිසා මුළුමනින් ම පරාජයට පත් වී නැත. විවිධ විනාශවල දී මිනිසාට බොහෝ දේ අහිමි වන්නේ වුව ඔහු යළි නැගී සිටින්නේ පෙරට වැඩි ශක්තියක් ද ආරෝපණය කර ගනිමින් ය. දෙවන ලෝක යුද්ධයෙන් පසු පැතිර ගිය ස්පාඤ්ඤ උණ, මැලේරියාව, වසූරිය, සාර්ස් වසංගතය, ඩෙංගු උණ වැනි වසංගත රෝග තත්ත්වය නිදසුනකට ගත හැකි ය. මේ වසංගත හමුවේ කිසිදු රාජ්‍යයක් අන්තයට පරාජයට පත්වුයේ නැත. මෙබඳු අර්බුදවල දී ලෝකය සාමූහිකව නැගී සිටීම වඩා වැදගත් ය. කොරෝනා වසංගතය හමුවේ ද ලෝකය සාමූහිකව නැගී සිටින්නට පටන්ගෙන තිබේ.

සෑම ආගමක් ම මිනිසාගේ පොදු නැගී සිටිමට ආශිර්වාද කරයි. සියලු ප්‍රජාව වෙත කරුණාව දැක්වීම ද සියලු ප්‍රජාවට ප්‍රේම කිරිම ද සියලු දෙනා අතර සාමය හා සමාදානය ව්‍යාප්ති කිරීම ද සෑම ආගමක ම ඉලක්කය වෙයි. ඒ ඔස්සේ බිහිවන්නේ සැනසිලිදායක සමාජයකි. සැනසිල්ල වටිනා ධනයක් යැයි බුදු දහමෙහි සඳහන් වෙයි. මේ අර්බුදකාරී අවස්ථාවේ අනෙකාට උපකාර කරන්නැයි ආගමික නායකයෝ ඉල්ලා සිටිති. ඒ අනුව රටේ ආයතන ස්වෙච්ඡා සංවිධාන මෙන්ම ප්‍රභූ පුද්ගලයෝ ද සහන වැඩසටහන් ක්‍රියාත්මක කරති. දේශපාලන පක්ෂ ද සහන වැඩසටහන් ආරම්භ කර තිබේ. එය සාධනීය ලක්ෂණයෙකි. පළමුව ජනතාව ජීවත් කරවිය යුතු ය.

කොරෝනා වසංගතයේ නිමාව කවදා සිදු වන්නේ දැයි නිශ්චිත ව කිව නොහැකි ය. ජනතාවගේ චර්යා රටාවලට අනුව එය තීන්දු වන්නේ යැයි සමහරු කියා සිටිති. ඇතැම් ජන කොට්ඨාස වෙතින් විනය ගරුක හැසිරීමක් තවම වාර්තා වන්නේ නැත. නිරෝධායනය මඟ හැරීම, රෝගය වසන් කිරීම, ව්‍යාජ තොරතුරු ලබාදීම, ඇඳරි නීතිය උල්ලංඝනය කිරීම වැනි සිදුවීම් දිනපතා වාර්තා වෙයි. මේ අතර රාජ්‍ය නිලධාරීන්ට තර්ජන කරමින් වැඩසටහන් අවුල් කරන අය ද සිටිති. පසුගිය දින කිහිපය තුළ ඇඳිරී නීතිය උල්ලංඝනය කොට අත්අඩංගුවට පත් වූ පිරිසගේ ගණන දහතුන් දහසකට වැඩි ය. අත්අඩංගුවටගෙන ඇති වාහන ප්‍රමාණය එක්දහස් ගණනක් බව ද කියැවේ. මේ සිදුවීම්වලින් පෙනී යන්නේ අපේම මිනිසුන්ගේ නොහික්මුණු ස්වභාවයයි.

අද පෙහොය දා නිවසේ සිට සිත සන්සුන් කර ගැනීම ඉතා වැදගත් ය. ආගමික භේදයකින් තොරව එය කළ හැකි ය.

නව අදහස දක්වන්න