කොරෝනා ආසාදනයෙන් වැඩිහිටියන් ආරක්ෂා කර ගන්නේ කෙසේද | දිනමිණ

කොරෝනා ආසාදනයෙන් වැඩිහිටියන් ආරක්ෂා කර ගන්නේ කෙසේද

සන්ධ්‍යා කරුණාරත්න

තංගල්ල මූලික රෝහලේ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍ය ලසන්තා ගනේවත්ත

කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය රටම ගිල ගැනීමට මාන බලමින් සිටින මේ අවස්ථාවේ මෙරට වැඩිහිටි ප්‍රජාවට එමඟින් වැඩිපුර බලපෑමක් කරන බවට වාර්තා වේ. ජීවිත අහිමි වීම් වලට පවා ඔවුන් ලක් විය හැකි අතර මේ තීරණාත්මක අවස්ථාවේ වෛරසය ආසාදනයෙන් වැඩිහිටියන් ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න තංගල්ල මූලික රෝහලේ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍ය ලසන්තා ගනේවත්ත මහත්මිය දැක් වූ අදහස් මෙම ලිපියෙහි අඩංගු වේ. සර්වාංග රෝගවලට අමතරව, ඇය එංගලන්තයේ රාජකීය වෛද්‍ය විද්‍යාලයෙන් වයෝවෘද්ධ එනම් ‘වැඩිහිටි වෛද්‍ය විද්‍යාව’ (Geriatric Medicine) සඳහා ඇති ඉහළම අධ්‍යාපනික සුදුසුකම ලබාගෙන ඇති අතර ලන්ඩන්යේ “ක්වීන්ස් රෝහලේ” වැඩිහිටි රෝග පිළිබඳ වාට්ටුවට අනුයුක්තව වෛද්‍යවරියක් ලෙස රැකියා කරන අතරතුර අදාළ සායනික පුහුණුව ද ලබා ඇත. ‘වැඩිහිටි වෛද්‍ය විද්‍යානුකූලව’ ඇය ලබා දෙන උපදෙස් වයස අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටියන්ට, තම සෞඛ්‍ය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට මෙම සාකච්ඡාව බෙහෙවින් ඉවහල් වනු ඇත. මෙම ගැටලුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව මුහුණදීම සඳහා අවශ්‍ය කටයුතු රෝහල තුළ සිදු කිරීමේ කාර්යන්ට නායකත්වය ලබාදීම ද ඇය සිදු කර තිබේ.

කොවිඩ් -19 රෝගයට ගොදුරු වූ වැඩිහිටියන් අතර ඉහළ මරණ හා රෝගාබාධ අනුපාතයක් වාර්තා වන්නේ ඇයි?

යසට යාම නිසා ඇති වන ශරීර දුර්වලතාවය නොහොත් Frailty හා විවිධ රෝගාබාධ (co-mobilities) නිසා ජීව විද්‍යාත්මකව හා කායික විද්‍යාත්මකව වැඩිහිටියන්ට තවත් රෝග සඳහා ඇති දරා ගැනීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවතී. ඊට අමතරව බොහෝ වැඩිහිටියෝ නිදන්ගත ස්වසන රෝගවලින් පීඩා විඳිති. ඒ අතර chronic obstructive pulmonary disease, bronchiectasis, lung fibrosis වැනි විවිධ පෙනහලු ආශ්‍රිත රෝග ප්‍රමුඛතාව ගනී. ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණයන් ද දුර්වල නිසා මෙම පසුබිම තුළ කොරෝනා වැනි වෛරසයක් ආසාදන වුවහොත් එම තත්ත්වය වැඩිහිටියන්ගේ රෝගාබාධ හා මරණ අනුපාතය ඉහළ නැංවීමට හේතු වේ. අපි කුමන වයස් කාණ්ඩයක සිටියත්, මේ දක්වා මෙම රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති නිසා අවසානය තැති ගන්වන සුළු විය හැකිය. අනෙක් අතට, රටේ පවත්නා විවිධ සීමාවන් පැනවූ මෙම පරිසරය තුළ වයෝවෘද්ධ අයට රෝගය ආරම්භයේදීම සෞඛ්‍ය සේවා ස්ථානයට ළඟාවීම ඉතා අපහසු විය හැකිය. චීනයේ වූහාන් ප්‍රාන්තයේ වැඩිහිටියන්ගේ මරණ අනුපාතය හා සම්බන්ධ සංඛ්‍යා ලේඛන සමඟ පැහැදිලි කළහොත්, වයස අවුරුදු 60-69 ත් අතර මරණ අනුපාතය සියයට 3.6 කි. අවුරුදු 70-79 ත් අතර සියයට 8 කි. වයස අවුරුදු 80 හෝ ඊට වැඩි පුද්ගලයින් අතර මරණ අනුපාතය සියයට 15 යනාදී වශයෙන් වාර්තා වේ. මෙම වෛරසය, ඒ හා සමාන වෙනත් වෛරසයන් සමඟ සංසන්දනය කරන විට, එය හෘදයට ඉතා අහිතකර ලෙස බලපාන බව වූහාන්හි වෛද්‍යවරුන් අත්දැකීමෙන් තේරුම් ගෙන තිබේ. මෙම වෛරසයේ බලපෑමට ලක් වූ වයෝවෘද්ධ රෝගීන් අවසානයේ හෘදයාබාධවලින් මිය යන අයුරු ඔවුන් දැක ඇත. එම නිසා මරණ අනුපාතය හා වයස අතර සෘජු සහසම්බන්ධයක් ඇති බව ඉතා පැහැදිලිය.

කොරෝනා වෛරසයෙන් වැඩිහිටියන් ආරක්ෂා වන්නේ කෙසේද?

පළමුව ඔවුන් නිවසින් පිටතට නොගොස් නිවස තුළ රැඳී සිටිය යුතුය. පිටතට යාමට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ ආහාර හා සෞඛ්‍ය හේතූන් සඳහා පමණි. කෙසේ වෙතත් විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙස ඒ සඳහා තම පවුලේ සෞඛ්‍ය සම්පන්න තරුණ සාමාජිකයෙකු, හොඳින් දන්නා පුද්ගලයෙකු හෝ අසල්වැසියෙකුගේ සහාය ඇතිව ඔබේ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ මිල දී ගැනීමට කටයුතු කළ යුතුය. එසේ නොමැති නම් අවශ්‍ය දේ ඔබේ දොරකඩටම ගෙන ඒම සඳහා රජය සහ පෞද්ගලික අංශය විසින් දැනට පිහිටුවා ඇති උපකාරක සේවාවන් හා සම්බන්ධ විය හැකිය. රෝහල් සායන කලින් මෙන් පවත්වනු ලබන බැවින්, ඔබට සායනයේදී වෛද්‍යවරයා හමු විය යුතු විශේෂ රෝගාබාධ තත්ත්වයක් නොමැති නම්, පවුලේ සාමාජිකයෙකු ඔබේ ‘සායන වාර්තා පොත’ සමඟ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු ඖෂධ ලබා ගැනීමට හැකිය. මෙම දුෂ්කර කාල සීමාව අවසන් වන තෙක් මාස දෙකක කාලයක් සඳහා ඖෂධ නිකුත් කිරීමට වෛද්‍යවරයාට බාධාවක් නොමැත.

ඔබේ නිවසට නෑදෑයන් සහ පිටස්තර පුද්ගලයින් කලින් මෙන් පැමිණීමට දිරිමත් කිරීමෙන් වැළකිය යුතුය. හැකි නම් පැමිණීම අධෛර්යමත් කළ යුතුය. මෙම කොරෝනා වෛරසය ප්‍රජාව තුළ බෝ වන පුද්ගලයින් වර්ග දෙකක් සිටින අතර, පළමු කණ්ඩායම උණ, කැස්ස, උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බැවින් හඳුනා ගැනීම පහසුය. අනෙක් කණ්ඩායම රෝග ලක්ෂණ නොපෙන්වයි. එම නිසා, සෑම බාහිර පුද්ගලයෙකුම මෙම ආසාදනයේ වාහකයෙකු යැයි අකමැත්තෙන් වුවද උපකල්පනය කරන්න.

පිටස්තර පුද්ගලයකුගේ පැමිණීම වළක්වා ගැනීමට ඔබට නොහැකි නම්, එකිනෙකා අතර මීටර් 1 සිට 2 දක්වා භෞතිකව දුරක් පවත්වා ගෙන, සංවාදය විනාඩි 15 කට අඩු කාලයක් සඳහා කෙටි කළ යුතුය. සබන් හෝ අත් සේදීමේ දියර භාවිතයෙන් දවසේ සෑම පැයකටම තත්පර 20 ක් ඔබේ අත් සේදීම සුදුසුය. යමෙකු ඔබ බැලීමට පැමිණියහොත් විශේෂයෙන් දොර හසුරුව (door lock) සහ නිතරම අපවිත්‍ර වන මතුපිට පෘෂ්ඨයන් ඇල්කොහොල් මිශ්‍ර දියර භාවිතයෙන් (Alcohol rub) පිරිසිදු කරන්න. වැදගත්ම කාරණය නම් නාසය, ඇස්, මුඛය සහ මුහුණ ස්පර්ශ නොකළ යුතුය. මෙය රෝගය සම්ප්‍රේෂණය කිරීමේ ප්‍රධාන ක්‍රමය වන අතර ඔබට කිවිසුම් යාම හා කැස්ස ඇති විට නිතරම මුඛය සහ නාසය ආවරණය කර ගන්න.ළමයින් ඇතුළු ඕනෑම කෙනෙකුව ස්පර්ශ කිරීමෙන්, සිප ගැනීමෙන් සහ වැළඳ ගැනීමෙන් වළකින්න. සාමාන්‍ය දිනවල සමාජ හා ආගමික කටයුතුවල නිරත වීම වැඩිහිටියන්ට ඉතා හොඳ නමුත් මෙම කාලය තුළ ඔබ අවමංගල්‍ය උත්සව ඇතුළු සියලු ආකාරයේ එක්රැස්වීම් වලින් වැළකී සිටිය යුතුය.

පිටතට යාම වැළැක්විය නොහැකි අවස්ථාවක, ඔවුන් ගත යුතු පූර්වාරක්ෂාවන් මොනවාද?

සියලුම වැඩිහිටියන් කොවිඩ් -19 වෛරස ආසාදනය සම්බන්ධයෙන් ‘අවදානමට ලක්විය හැකි කණ්ඩායමක්’ ලෙස වෛද්‍ය විද්‍යානුකූලව සලකන බැවින්, නිවසින් පිටතට යන විට නිසි මුහුණු ආවරණයක් පැළඳීම සහ ආවරණය කළ බෑගයක් තුළ අවම ප්‍රමාණයට අවශ්‍ය භාණ්ඩ පමණක් රැගෙන යාම සුදුසුය. අවශ්‍ය විටදී භාවිතා කිරීමට අත් සේදීමේ ඇල්කොහොල් මිශ්‍ර දියරයක් හෝ අවම වශයෙන් අත් සේදීමේ විෂබීජ නාශක දියරයක් හෝ රැගෙන යාම සුදුසුය. පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමෙන් වැළකී සිටීමට උත්සාහ කළ යුතුය. පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමේදී දෑත් හොඳින් පිරිසිදු කර ගැනීමද අවශ්‍ය වේ. එසේම අදාළ සංචාරය සඳහා අවම කාලයක් භාවිතා කිරීමට වග බලා ගන්න. ආපසු පැමිණි පසු අවම වශයෙන් තත්පර 20 ක කාලයක් සබන් යොදා දෑත් සෝදාගෙන, ඇඳුම් නිසි ලෙස සෝදා හිරු එළියේ තදින් වියළා ගත යුතුය. මුළු සිරුරම හොඳින් සෝදා ගැනීමට ද අමතක නොකළ යුතුය.

උණ, කැස්ස, උගුරේ අමාරුව හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වුවහොත් ඔවුන් කළ යුත්තේ කුමක්ද?

ළඟම ඇති රජයේ රෝහල වෙත ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. රටේ පවත්නා වර්තමාන වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාත්‍යන්තර මාර්ගෝපදේශ හා ප්‍රොටෝකෝලයන්ට (protocols) අනුකූලව සකස් කළ පොදු යාන්ත්‍රණයක් මේ වන විට සියලුම රජයේ රෝහල් වල ක්‍රියාත්මක වේ.

වෛද්‍යවරුන් වශයෙන් අප ඇතුළු අපගේ හෙද කාර්ය මණ්ඩලය සහ සෞඛ්‍ය සේවාවේ සියලුම අංශවලට අයත් සාමාජිකයින්, කණ්ඩායමක් ලෙස ජීවිත අවදානමක් ගෙන ඔබට සේවය කිරීමට දිවා රෑ නොබලා සූදානම්ව සිටිමු. එබැවින් මෙම සේවාව ලබා ගැනීමට කිසිවෙකු හෝ බිය වීමට හේතුවක් නැත.

වැඩිහිටියන්ට බරපතල රෝගාබාධයක් ඇති වුවහොත් කළ යුත්තේ කුමක්ද?

තමන්ගේ ජීවිතයට නරක දෙයක් සිදුවිය හැකි කිසිදු ඉඩකඩක් නොදී, හදිසි සේවාව ලබා ගැනීම සඳහා ළඟම ඇති රෝහලකට යා යුතුය. එපමණක් නොව, රජයේ රෝහල් විසින් සුපුරුදු පරිදි බාධාවකින් තොරව බාහිර රෝගී අංශය (OPD), හදිසි ප්‍රතිකාර ඒකකය (ETU), සායන (Clinics) අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

මෙරට වැඩිහිටි ප්‍රජාවට ලබා දිය හැකි වැඩිදුර උපදෙස් මොනවාද?

විජලන (dehydration) තත්ත්වය නොහොත් ශරීරයට අවශ්‍ය ජලය අඩු කම, රෝගාතුර වීමට අවදානම් සාධකයක් වන බැවින් ඔවුන්ගේ සජලීය (hydration) මට්ටම ඉහළම මට්ටමේ පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් දියර පානය කළ යුතුය. එසේම ප්‍රතිශක්තිය සහ ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමට ප්‍රෝටීන් බහුල ආහාර අනුභව කිරීම අත්‍යවශ්‍ය වේ. සමබර ආහාර වේලක් ගැනීමට උත්සාහ කළ යුතුය. නැවුම් පළතුරු සහ එළවළු, විටමින් ‘සී’ සහ ‘සින්ක්’ වැනි ඛනිජ ලවණ අඩංගු හොඳ ප්‍රභවයක් වන අතර එමඟින් ස්වසන මාර්ගයේ ආසාදනවලට එරෙහිව ප්‍රතිශක්තිය වැඩි කළ හැකිය. එසේම ඔවුන් මානසිකව හා ශාරීරිකව ක්‍රියාශීලීව සිටිය යුතුය. අඛණ්ඩව සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා දුරකථනය, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය වැනි දුරස්ථ තාක්ෂණය භාවිතා කළ හැකිය.තවත් වැදගත් කරුණක් නම්, අප විසින් වැඩිහිටියන් විශේෂයෙන් ඇද වැටීම් වැනි ගෘහස්ත අනතුරුවලින් වළක්වා ගැනීමට උපරිම උත්සාහයක් ගත යුතුය. ඒ සඳහා ඔවුන් ද ක්‍රියා කළ යුතුය. කොවිඩ් -19 ආසාදනය වීම නිසා මිය යනවාට වඩා ඇද වැටීමෙන් ජීවිතය අහිමි විය හැකිය. සමස්තයක් වශයෙන් ගත් කල අවසාන පණිවිඩය ලෙස මම වැඩිහිටි පරපුරට යෝජනා කරන්නේ ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය හා චර්යා රටාව දළ වශයෙන් මාස දෙක තුනක පමණ කාලයක් සඳහා වෙනස් කර ගන්නා ලෙසය. එයින් අදහස් කරනුයේ ඔවුන් සමාජමය වශයෙන් සඳහටම හුදෙකලා විය යුතු බව නොවන බව ද හිත තබා ගත යුතුය.

 

නව අදහස දක්වන්න