අප ජනතාව සමාජ වගකීම හරියාකාරව සිදු කරන්නේද? | දිනමිණ


 

අප ජනතාව සමාජ වගකීම හරියාකාරව සිදු කරන්නේද?

මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම
සභාපතිනි ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව

සමාජ වගකීම යනු තමන්ගේ යුතුකම් සමාජයට ඉටු කිරීමයි. සමාජයට අහිතකර දෙයක් නොකිරීමයි. පුද්ගලයකුගේ ක්‍රියාවන් සමස්ත සමාජයට ම ප්‍රයෝජනවත් විය යුතුය. අප රටෙහි සියලු ජනතාවගෙන් සමාජ වගකීම හරියාකාරව සිදුවෙනවාදැයි ප්‍රශ්නයකි. බහුතරයකින් (90%) එසේ සිදුවෙනවා නම් මෙම රෝගය පැතිරීම අවම කරගත හැකිය.

සමහරක් රටවල උදා: පින්ලන්තය (Finland) අධ්‍යාපනය හරහා ම සමාජ වගකීම ඉගැන්වේ. එබැවින් 95 – 90 % ජනතාවගෙන් සමාජ වගකිම අර්ථයෙන් ම සිදුවේ. එබැවින් අද පවතින තත්ත්වයක දී ඔවුනට ආර්ථිකය ද සමබර කර තීරණ ගත හැකිය. නිවෙස්වල සිට තම රාජකාරී කරන මෙන් රජය අවවාද කළ විට එය අකුරට ම පිළිපදී. මෙය සමාජ වගකීමක් ලෙස ඔවුන් පිළිපදී.

ජනතාවගේ අධ්‍යාපනයෙන් සහ පුහුණු කිරීම් තුළින් නීතියට ඔවුන් ගරු කරයි. රජයෙන් දෙන අවවාද අකුරට ම පිළිපදී. මෙය සමාජ වගකීමක් ලෙස ඔවුන් සලකයි. මෙය ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය තුළින් ලැබිය යුතු වේ.

අප රටෙ හි උගත් කියාගන්නා ජනතාව තමන්ගේ පෞද්ගලික වාසි සදහා සමාජ වගකීම නොතකයි. සමහරක් ජනතාවට තමන්ගේ සමාජ වගකීම කුමක්දැයිවත් නොතේරේ.

හොඳම උදාහරණය නම් මේ දිනවල නිවස තුළ ම සිටිය යුතුයැයි රජය කියා සිටින්නේ මේ රෝගය පාලනය කිරීමට හොඳම මාර්ගය බැවිනි.

සමහර ජන කොටස් දේශපාලන හෝ තම පෞද්ගලික “ලකුණු ගැනීමේ” පරමාර්ථයෙන් නොයෙකුත් සමාජීය ක්‍රියාවල යෙදෙති. මොවුන් සමාජයට විශාල වරදක් කරන බව නොදනී. නිවෙස්වල රැදී සිටින අයට කරන අසාධාරණයක් බවද නොදනී. අප සමහරක් ජන කොටස් සෑම දෙයක් ම නොමිලේ දෙනකම් බලා සිටි. එනමුත් තවත් ජන කොටසක් එක්තැනකට වී (social distance or social isolation) තම රාජකාරියෙහි යෙදීමෙන් යම් මුදලක් සොයා ගැනීමට බලයි. රජයට මෙම රෝග තත්ත්වය පාලනය කිරීම, නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින අයව නොමිලේ රැක බලාගැනීම සදහා අධික මුදලක් වැයකළ යුතුය. එබැවින් අනික් ජනතාව නිවෙස් වල යමක් හෝ වගාකර මහන්සි වී වැඩකළ යුතුය .

අතිගරු ජනාධිපතිතුමන්, අගමැතිතුමන්, හමුදාපති, ත්‍රිවිධ හමුදාවේ කර්තව්‍ය නොමැතිනම් අද අප ද ඉතාලිය මෙන් තත්ත්වයක් බවට පත්වී ඇත. අපගේ කෘතඥතාවය එක් සිතින් පුද කළ යුතුය.

සෞඛ්‍ය සේවයෙ හි යෙදෙන්නන්ගේ විශිෂ්ට කැපවීම මවුබිම වෙනුවෙන් කරන සේවය නිසා අද අප මෙම මට්ටමේ පවතී. ඔවුන්ට ද හදපත්ලෙන් කෘතඥතාවය පුද කළ යුතුය.

අනිකුත් ජනතාව සෑම විටම නිවස තුළ සිට අපගේ සමාජ වගකීම ඉටුකළ යුතුය.මේ දිනවල අත්‍යාවශ්‍ය වන්නේ රජයෙන් දෙන අවවාද සියල්ල ම අකුරට ම ඉටුකිරීමය. එනම් තම “නිවෙස්වල සිටීමය”.

රජය එසේ කියන්නේ අපගේ ම ආරක්ෂාවටය.

දැනට මුළු පවුල් දෙකක් ම වෛරස රෝගයට ගොදුරු වී ඇත. මෙමගින් අප රට තවත් ඉහළ අවදානමකට වැටි ඇත. පවුල් පිටින් රෝග වුවහොත් ව්‍යාප්තිය නවත්වා ගැනීමට නොහැකි විය හැකිය. සමහරක් ජනතාව එක ලඟ ගෙවල් වලට එහෙ මෙහෙ ගමන් කරයි. ඔවුන්ගේ ආගම් වලින් එසේ නොකළ යුතුයැයි කිව යුතුය. රෝගයෙහි බැරෑරුම් තත්ත්වය පහදා දිය යුතුය. නීති රීති කඩන ජනතාව දේශපානය බලවත්කම් නොසලකා තද දඩුවම් දිය යුතුය. වෛරසයට බලවත්කම්, දේශපාලනය නැත. ස්වභාව ධර්මය ජනතාවට වඩා බලවත්ය.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කියන පරිදි මෙම සති දෙක රටෙහි තීරණාත්මකය. කෑම බීම මුදල්වලට වඩා පවුලේ සියල්ල ජිවත් විය යුතුය. තියෙන දෙයක් කා බී නිවාස තුළ ම සිටීමෙන් මේම රෝගයෙන් අපට රටක් ලෙස ගොඩ ආ හැකිය. තද නීති රීති දමන්නේ තමන්ගේ ආරක්ෂාවට ම බව සියලුම ජනතාව වටහා ගත යුතුය.

රජයේ රාජකාරි හැර නිවසින් පිටත යන අයට තද දඩුවම් දිය යුතුය. එසේ නොමැති නම් නිවාස තුළ සිටින අයට ද අසාධාරණයකි. ඒ අය නිසා රෝගය පාලනය කිරීමට අපහසු වීමෙන් රටෙහි පහළ වැටෙන ආර්ථිකයට ද ඔවුන් වගකිවයුතුය. මේ දිනවල සමාජ සේවය බොහෝ ප්‍රවේසමෙන් කළ යුතුය. හේතුව අපේ සතුරා ඇසට නොපෙනෙන බැවින් කොහේ සිටී දැයි නොපෙනේ. එබැවින් අඩුවෙන් කා බී හෝ නිවස තුළම සිට රෝගය පාලනය කර ජීවත්වීමේ කාලය එළැඹ ඇත. එසේ කිරීමෙන් මවුබිම නැවත යථා තත්ත්වයට හැකි ඉක්මණින් පත්කළ හැකිය. එසේ වේවායි අප සියල්ල හද පත්ලෙන් ම ප්‍රාර්ථනය කරමු. එය අප සියළුදෙනාගේ ම වගකීමක් ද වනු ඇත.

නව අදහස දක්වන්න