වගකීමෙන් ක්‍රියා කළ නිසා වෛරසය පාලනයට හැකි වුණා | දිනමිණ


 

වගකීමෙන් ක්‍රියා කළ නිසා වෛරසය පාලනයට හැකි වුණා

වැඩපිළිවෙළ ඉදිරියටත් කරගෙන යෑමට දෙපාර්ශ්වයේම එකඟතාව
කුමන දුෂ්කරතා පැමිණියත් ජනතා සහන අඛණ්ඩව සලසනවා

සමඟි ජන බලවේගයේ නියෝජිත හමුවේදී ජනපති කියයි

කුමන දුෂ්කරතා මධ්‍යයේ වුව ද භේදයකින් තොරව ජනතාවට අඛණ්ඩව සහන සලසන බව ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

කොරෝනා වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමත් සමඟ රජයක් ලෙස වගකීමෙන් ක්‍රියා කළ හෙයින් වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකියාව ලැබුණු බව ද රාජපකෂ මහතා අවධාරණය කළේය.

කොරෝනා වෛරසය පැතිර යෑම සමඟ රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ රජය සහ සමඟි ජන බලවේගය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (06) පැවැති සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ සාකච්ඡාව පැවැත්විණි.

වෛරසය මැඬ පැවැත්වීමට රජය ගෙන යන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සමඟි ජන බලවේගය මෙහිදී ජනාධිපතිවරයා ඇතුළු රජයට ප්‍රසාදය පළ කළේය.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය.

කොරෝනා වෛරසය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමත් සමඟ රජයක් ලෙස වගකීමෙන් ක්‍රියා කළ ආකාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

එම නිසාම සෙසු රටවල් අභිභවා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග රැසකට එළැඹීමට හැකි වූ බව ද රාජපක්ෂ මහතා පැවසීය.

පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමේ සිට අත්‍යවශ්‍ය සේවා බිඳ නොවැටී දෛනික කටයුතු පවත්වා ගනිමින් ජනතාව ආරක්ෂා කර ගැනීමට සෑම පියවරක්ම ගත් බව ජනාධිපතිවරයා මෙහිදී  සඳහන් කළේය.

මේ නිසා කොරෝනා වෛරසය පැතිර යෑම පාලනය කිරීමට රජයට හැකි වූ බව ද සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ඇතුළුව රාජ්‍යය හා පෞද්ගලික යාන්ත්‍රණය මුසු කර ගනිමින් විශේෂඥ උපදෙස් පිළිගනිමින් සෑමවිටම ක්‍රියා කළ බව ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

වෛරසය ආසාදිත රෝගීන් හා ඔවුන් ඇසුරු කළ පිරිස් හඳුනා ගනිමින් විශේෂඥ වෛද්‍ය උපදෙස් මත පූර්ව පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරෙන බවත් ඒ මගින් ආසාදිතයන් කල් තියා හඳුනා ගැනීමට හැකි වනු ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

මධ්‍යස්ථාන 40ක නිරෝධායන කටයුතු සිදු කෙරෙන බව කී රාජපක්ෂ මහතා, රෝගීන් හඳුනාගත් ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ද සහාය ඇතිව වෛරසය පැතිර යෑම වැළැක්වීමට ක්‍රියා කර ඇති අයුරු මෙහිදී පැහැදිලි කළේය. රෝගී නිරීක්ෂණ සහ පරීක්ෂණයන්ට මෙන්ම මහජන පාලනයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දක්වන සහයෝගය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැසසුමට ලක් විය.

රජය ගෙන යන ක්‍රියාමාර්ගයන්ට සමඟි ජන බලවේගය සිය ප්‍රසාදය පළ කළ අතර, දේශපාලන සහ වෙනත් භේදයකින් තොරව වැඩපිළිවෙළ ඉදිරියටත් කරගෙන යා යුතු බව දෙපාර්ශ්වයේම මතය විය.

රජය ගෙන යන වැඩපිළිවෙළේ දී යම් අයකුට අසාධාරණයක් හෝ අඩුවක් වී ඇත්නම් ඒ පිළිබඳ වහාම ක්‍රියාත්මක වන බව ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

දෛනික වැටුප් මත ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු විවිධ සේවා සැපයීමට පැමිණ ගමට යෑමට නොහැකිව සිටින පිරිස් වෙත අදාළ සේවාලාභීන්ගේ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා මෙන්ම සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙහිදී ඉල්ලා සිටියහ.

බෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය ඖෂධ රැසක් රජයේ ඉල්ලීම මත ඉන්දියාවේ සිට අද (07) දිවයිනට ගෙන එනු ලැබෙන බවත් මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේය.

සමස්ත ලෝකයම මුහුණ දී ඇති ආර්ථික හා සමාජයීය තත්ත්වය සැලකිල්ලට ගෙන අපේ රටට ගැළපෙන ආර්ථික ක්‍රමවේදයකට යොමුවීමට දැනටමත් සැලසුම්කර ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

පසුබෑමට ලක්ව ඇති ඇගළුම් සහ සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබා ගනිමින් සිටින බවත්, අවස්ථාව ලද සැණින් ඔවුන්ගේ උපදෙස් මත රජය ක්‍රියාත්මක වන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

සමෘද්ධිලාභීන්ට අමතරව වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් ඇතුළුව ලක්ෂ 07කට අධික සංඛ්‍යාවකට රුපියල් 5,000ක දීමනාව කිසිදු භේදයකින් තොරව ලබාදීමට ක්‍රියා කර තිබේ. යම් අයකුට එය නොලැබී ඇත්නම් ග්‍රාම නිලධාරී වෙත අභියාචනයක් ඉදිරිපත් කර ලබා ගැනීමට හැකි අවස්ථාව සලසා දී ඇති බව ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ද මෙහි දී සඳහන් කළේය.

සෞඛ්‍ය හා තවත් ක්ෂේත්‍ර රැසක ඉදිරි පියවරයන් පිළිබඳව ද රජයේ සහ සමඟි ජන බලවේගයේ අවධානය මේ සකච්ඡාවේදී යොමු කෙරිණ.

රජය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරු ද, සමඟි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස සහ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හා ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න