කායික සෞඛ්‍යය හා රෝග නිවාරණය පිළිබඳ බුදුසමයානුගත නිර්දේශ | දිනමිණ


 

කායික සෞඛ්‍යය හා රෝග නිවාරණය පිළිබඳ බුදුසමයානුගත නිර්දේශ

‘ආරෝග්‍යා පරමා ලාභා’ එනම් නිරෝගී බව උතුම් ලාභය ලෙස බුදු සමය පිළිගනියි. මිනිසාගේ දියුණුවට හේතු වශයෙන් පළමුවැන්න ලෙස හඳුනා ගැනීමට හැකි වන්නේ ආරෝග්‍යය ප‍්‍රාර්ථනයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍යය නිර්වචනය කරනුයේ “හුදෙක් රෝග නැති බව නොව, කායික, මානසික හා සමාජයීය සම්පූර්ණ සුවපත් තත්ත්වයක්.” වශයෙනි. අංගුත්තර නිකායේ රෝග සූත්‍රයට අනුව මිනිසුන් තුළ ප්‍රධාන වශයෙන් රෝග ද්විත්වයක් විද්‍යමානය. එනම්,

1. කායික රෝග

2. චෛතසික රෝග

යනුවෙනි.

මෙහි දෘශ්‍යමාන චෛතසික රෝග වනාහී වර්තමානයෙහි මානසික රෝග යනුවෙන් හැඳින්වෙන රෝගවලට පමණක් සීමා වූ අසනීප තත්තවයන් පමණක් නොවේ. මානසික රෝග ගණයෙහි ලා නොසැලකෙන සාමාන්‍ය පුද්ගලයන් කවුරුන් තුළ වුවද තිබෙන දුර්වල චෛතසික තත්ත්වයන් මෙයට ඇතුළත් වේ. පෘථග්ජනයන් තුළ පමණක් නොව, සිත යම් තරමක් දුරට දියුණු කළ ඇතැම් කෙලෙස් බැහැර කළ ඇතැම් කෙළෙස් තුනී කළ ආර්යයන් තුළ පවා චෛතසික රෝගී තත්ත්වයක් පවතියි. කෙලෙස් සහමුලින්ම දුරු කළ හා ප්‍රහීන කළ උතුමෝ පමණක් මේ විග්‍රහය අනුව සම්පූර්ණ සෞඛ්‍යය තත්ත්වයක් ලබා සිටිති.

“ඉතාපු පුළුල් ලෙස සෞඛ්‍ය සංකල්පය” විවරණය කරන බුදු දහම, සෞඛ්‍යය ආරක්‍ෂා කර ගැනීම මූලික මිනිස් අවශ්‍යතාවක් ලෙස පිළිගනියි. ඉතා අල්ප වූ අවශ්‍යතා ඇති පැවිදි ජීවිතයට පවා සෞඛ්‍යය රැක ගැනීම මූලික අවශ්‍යතාවක් ලෙස පෙන්වා දී ඇති අයුරු සිව්පසය (චතුපච්චය) තුළ ගිලානප්‍රත්‍යය ඇතුළත් කිරීමෙන් පෙනේ. (ම.නි.සබ්බාසව සූත්‍රය) සෞඛ්‍යය ප්‍රශ්නය නොවිසදී තිබීම ප්‍රධාන දුක් ස්වරූපයක් බව ධම්මචක්ක සූත්‍රයෙහි දුක්ඛාර්ය සත්‍යය විග්‍රහයට ව්‍යාධිය ඇතුළත් වීමෙන් පැහැදිළි වේ. සේවකයා කෙරෙහි පැවැත්විය යුතු ස්වාමියාගේ කාර්යභාරය තුළ සේවක සෞඛ්‍යය ආරක්‍ෂා කිරීම ද සිඟාලෝවාදයෙහි දී සාකච්ඡා වේ. (දි.නි. සිඟාලෝවාද සූත්‍රය)

කායික රෝග සතළිස් අටක් ගිරිමානන්ද සූත‍්‍රයෙහි සඳහන්ය. ඇසේ රෝග, ශීර්ෂාබාධ, දන්ත රෝග, කාස, පීනස, කුසේ රෝග, කුෂ්ඨ, මධුමේහ, පිළිකා වැනි රෝග ඒ අතර වෙයි. මීට අමතරව තවත් රෝග ගණනාවක් මහාවග්ග පාලියේ ද ඇතැම් සූත්‍ර දේශයන්හි ද ඇතුළත් වී තිබේ. හන්දි රුදාව, බඩ පිපීම, පාණ්ඩුව ඉන් සමහරකි. රෝග මෙන්ම රෝග හේතු ද පෙළ දහමෙහි සාකච්ඡාවට ගැනේ. විශේෂයෙන්ම කායික රෝග හට ගැනීමෙහි හේතු අටකි. එනම්, පිත, සෙම, වාතය, සන්නිපාතය, සතුන්ගේ වෙනස්කම් නුසුදුසු පැවත්ම, උපක‍්‍රම කර්ම විපාක යනාදියයි. නිදසුන් ලෙස මත්පැන් පානය ද රෝග හේතුවකි. එය නුසුදුසු චර්යාවක් යටතට ගැනෙයි. (මහාවග්ග පාලි, භේසජ්ඤක්ඛන්ධකය)

බුදුදහම රෝගීන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වයි. රෝගියා අසරණ වූවෙකි. සාමාන්‍ය සෞඛ්‍යය සම්පන්න පුද්ගලයකු මෙන් හැසිරීමට ඔහුට නොපිළිවන. මේ බව සුවයෙන් සිටින අය තේරුම් ගෙන රෝගී වූවන්ට නිසි ලෙස උදව් උපකාර කළ යුතුය. බුදුන්වහන්සේ ගිලානෝපස්ථානය බුදුරජාණන්වහන්සේටම කරන උපස්ථානයක් ලෙස මහාවග්ග පාලි චීවරක්ඛන්ධකයෙහි බුද්ධාවාදයක් ලෙස අවධාරණය කර තිබේ. ඒ බව මෙසේය.

“යෝ භික්ඛවෙ, මං උපට්ඨභෙය්‍ය, සො ගිලානංඋපට්ඨභෙය්‍ය”

එනම්,

“යමෙක් මටඋපස්ථාන කරන්නේ ද මාගේ අවවාදය පිළිගන්නේ ද හෙතෙමේ ගිලනුන්ට ද උපස්ථානය කරන්නේය.”

විනය නීති පැනවීමෙහි දී පවා ගිලනුන් ගැන විශේෂයෙන්ම සලකා බලා තිබේ. නිදසුනක් ලෙස ගිලන් නොවූවාහු විසින් ජලයෙහි මළ මූත්‍රා නොකළ යුතුය. කෙළ හෝ නොගැසිය යුතුය. එසේ කළහොත් දුක්ඛටාපත්තියක් වේ. එනමුත් රෝගී වුවකු තම රෝගී තත්ත්වය හේතුවෙන් ජලයෙහි මළ මූත්‍රා පහ කිරීම හෝ කෙළ ගැසීම වරදක් ලෙස සලකනු නොලැබේ.

රෝගීන්ට උපස්ථාන කිරීම විශේෂ සැලකිල්ලකින් හා බුද්ධිමත්ව ද කාරුණිකව ද කළ යුත්තකි. උපස්ථායකයා තුළ තිබිය යුතු ගති ගුණ මහාවග්ග පාලියෙහි මෙසේ ගම්‍යමානය.

දිය යුතු බෙහෙත් දැන සකසා දීමට දත යුතුය. හිත අහිත දෙය දැන රෝගියාට අහිත දෙය බැහැර කර හිත දෙය පමණක් ලබා දිය යුතුය. යමක් බලාපොරොත්තුවෙන් නොව, මෛත්‍රී සහගත සිතින්ම උවටැන් කළ යුතුය. මළ මූත්‍රා, කෙළ හෝ වමනය හෝ බැහැර කරන්නට පිළිකුල් නැති විය යුතුය. වරින්වර සුදුසු කථාබහ මඟින් රෝගීයා උත්සහවත් කරවන්නට, සතුටු කරවන්නට, උද්යෝගීවත් කරවන්නට සමත්විය යුතුය. (අඃනි, අනුකම්පක සූත‍්‍රය)

දුර්වල අවස්ථාවක සිටිය ද රෝගියා ද අන් අයට කරදරකාරයකු නොවිය යුතු බව රෝගියා තුළ ද තිබිය යුතු ගති ලක්‍ෂණ විස්තරයෙන් ප්‍රකාශිතය. රෝගියා තමාට හිත දෙයක් කරන්නෙක්ද හිත දෙයෙහි පමණ දන්නෙක්ද විය යුතුය. ඔහු රෝගයෙහි වැඩි අඩුවීම නොසඟවා ඇති සැටියෙන් උපස්ථායකයාට කිවයුතුය. එමෙන්ම රෝගය නිසා ඇතිවන කායික දුක් අමිහිරිතාවන් වේදනාවෙන් ඉවසන ස්වභාවයෙන් යුක්ත විය යුතුය. එසේ හැසිරෙන රෝගියා පහසුවෙන් උවටැන් කළ හැකි අයෙක් ලෙස ද සැළකේ.

අහිතකර පැවැතුම් ඇති බව රෝග හේතුවක් ලෙසින් දකින බුදුසමය හිතකර සෞඛ්‍යය පුරුදු පුහුණු කරවීම කෙරෙහි ද හිතකර පරිසරයක් සකස් කරවීම කෙරෙහි ද අවධානය යොමු කරයි. චුල්ලවග්ග පාලියේ වත්තක්ඛන්ධකයෙත් පාචිට්ටිය පාලියේ සේඛියා ශික්‍ෂාවනුත් මේ සම්බන්ධයෙන් සවිස්තර සාකච්ඡාවක් කරයි. එහිදී නිවස, බඩුබාහිරදිය, වැසිකිළි පවිත්‍රතාව, ජලය, සූර්යරශ්මිය, වාතය, ප්‍රයෝජනයට ගත යුතු ආකාරය ද ඉතා සුළු කරුණක් පවා මැනවින් සිත් ගන්නා සුලු අයුරින් අවධාරණය කර තිබීම ද මෙහිදී දක්නට ලැබේ. මේ අනුව බුදුදහම මිනිසාගේ පූර්ණ සෞඛ්‍යය තත්ත්වයක් උදාකර ගැනීම සඳහා නිවැරදි හා තාත්වික මාර්ග රාශියක් නිර්දේශ කර තිබේ.

 

 

රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය
තිස්සමහාරාමයේ ධම්මසාර හිමි

සහකාර කථිකාචාර්ය
සමාජ විද්‍යා අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය

නව අදහස දක්වන්න