ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් පිරිසකට එරෙහිව විශේෂ විමර්ශනයක් | දිනමිණ


 

ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් පිරිසකට එරෙහිව විශේෂ විමර්ශනයක්

වරල්ලේ ඝාතනයකට වෙනත් අයකු ඇල්ලීමේ සිද්ධිය

තිහගොඩ පොලිසිය හරි ඝාතකයා හෙළි කළත් නිවැරදි කෙනාවට නඩු පවරලා

දෙණියාය, වරල්ල ප්‍රදේශයේ සිදු වූ මිනිස් ඝාතනයක සැකකරුවෙක් ලෙස වෙනත් පුද්ගලයෙක් අල්ලා, වෙඩි තැබූ ගිනි අවිය ලෙස ටී 56 ගිනි අවියක් අධිකරණයට ඉදිරිපත් කළේ යැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසකට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබේ.

පොලිස් මූලස්ථානයට ලද පැමිණිල්ලකට අදාළ සිද්ධියට ඇති සියලුම ලිපි ලේඛන මේ වන විට වැඩ බලන පොලිස්පතිවරයා විසින් සිය බාරයට ද ගෙන තිබෙන බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

දෙණියාය වරල්ල ප්‍රදේශයේ දී එම මිනිස් ඝාතනය සිදුව ඇත්තේ 2010 වසරේ අගොස්තු 11 වෙනිදාය. සාගර මධුෂාන් පරණවිතාන නමැත්තා එහිදී මියයන අතර දිලිප් පරණවිතාන නමැත්තා තුවාල ලැබීය. එවකට ජනාධිපතිවරයාව සිටි වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් පුද්ගලයෙක් එසේ ඝාතනය වී තිබුණි. එම ඝාතන විමර්ශනය එවකට පොලිස්පතිවරයාව සිටි මහින්ද බාලසූරිය මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශය විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටියදී එවකට සහකාර පොලිස් අධිකාරීවරයකුව සිටි ශානි අබේසේකර මහතා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ සේවයේ නිරතව සිටි මේ වන විට ස්විට්සර්ලන්තයට පළාගොස් සිටින නිශාන්ත සිල්වා, එවකට උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවයේ නිරතව සිටි ප්‍රේමතිලක සහ එවකට සැරයන්වරයකු ලෙස සේවයේ නිරතව සිටි මෙන්ඩිස් යන නිලධාරීන් යාපනයේ යම් විමර්ශනයකට ගොස් නැවත පැමිණෙන අතරතුර නලින් උදය කුමාර නමැති තරුණයෙක් මෙම වෙඩි තැබීමට සැකපිට යැයි සඳහන් කරමින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතරවැනි තට්ටුවට රැගෙනවිත් තිබේ. එම තරුණයාව අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් කර ඇත්තේ බකමූණ ප්‍රදේශයේ දීය. අත්අඩංගුවට ගත් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් සොයා ගත්තේ යැයි සඳහන් ටී 56 වර්ගයේ ගිනි අවියක් ද මෙහිදී ඉදිරිපත් කර තිබේ. එම අවියේ හඳුනාගැනීමේ අනුක්‍රමික අංක මකා දමා තිබී ඇත.

මේ අතර වෙනත් අපරාධයක් සම්බන්ධයෙන් තිහගොඩ පොලිසිය කිහිප දෙනකු ගිනි අවියක් සමඟ 2011 වසරේ පෙබරවාරි 06 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇති අතර ඒහිදී එම සැකකරුවන් දෙණියායේ වෙඩි තැබීම ගැනද කරුණු හෙළිකර තිබේ. විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ එම වෙඩි තැබීමට යොදා ගත් අවිය තිහගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් ගිනි අවියම බවයි. ඒ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තරුණයා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති අතර තිහගොඩ පොලිස් ස්ථානය තමන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගැන අනාවරණය වූ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද දැනුම් දී තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනයකට අදාළ මිනිස් ඝාතනයකට සම්බන්ධ අපරාධකරුවන් සහ ගිනි අවිය ද ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණු බැවිනි.

ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එකළ යොමු කර නැති අතර තිහගොඩ පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැබෑ අපරාධකරුවන්ට පවා නීතිය ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත්ව නැත. එහෙත් තිහගොඩ පොලිසිය අත්අඩංගුවට ගත් ගිනි අවිය රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව ද හෙළිවී ඇත්තේ දෙණියායේ වෙඩි තැබීමට යොදාගෙන ඇත්තේ එම ගිනි අවියම බවය. කෙසේ වෙතත් එය නීතිපති දෙපාර්තමේන්තුවට පවා සඟවමින් මාතර මහාධිකරණයේ දී ඔවුන් අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිවම නඩු පැවරීමට පියවර ගෙන තිබෙන බවද මේ වන විට හෙළිවී තිබේ.

මේ සම්බන්ධයෙන් 2011 වසර වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාව සිටි මේ වන විට විශ්‍රාම ගොස් සිටින නියෝජ්‍ය පොලිස්පති මහේෂ් පෙරේරා මහතා එකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියාව සිටි මේ වන විට විශ්‍රාම ගොස් සිටින නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක මහතාට දීර්ඝ ලිපියක් යොමු කර ඇත්තේ දෙණියායේ මිනිස් ඝාතනය සම්බන්ධයෙනි. 2011 වසරේ ජූලි 08 වෙනිදා දාතමින් යොමු කර ඇති එම ලිපියෙන් ඔහු අවසානයට ඉල්ලා ඇත්තේ ශානි අබේසේකර, නිශාන්ත සිල්වා ඇතුළු කණ්ඩායමට ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙසය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළම ඒ අය විවිධ අංශවලට මාරුකර යවා ඇත. පසුව දෙණියායේ ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගත්තේ යැයි කියන සැකකරු මාතර මහාධිකරණයෙන් 2014 වසරේ දෙසැම්බර් 17 වෙනිදා නිදොස් කොට නිදහස් කර ඇත්තේ ඔහුට එරෙහිව එම ඝාතන චෝදනා අධිකරණය හමුවේ සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට නොහැකි වීම නිසාය.

 ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න