අපගේ පළමු කර්තව්‍ය වන්නේ රෝගීවීමට ඉඩ නොදී මුදා ගැනීම | දිනමිණ


 

අපගේ පළමු කර්තව්‍ය වන්නේ රෝගීවීමට ඉඩ නොදී මුදා ගැනීම

හිටපු රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල

කොරෝනා ජාතික ව්‍යසනයේදී අපගේ පළමු කර්තව්‍ය වන්නේ රට රෝගීවීමට ඉඩ නොදී මුදා ගැනීම බව තාක්ෂණ හා නවෝත්පාදන හිටපු රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පැවැසී ය.

මෙම ජාතික ව්‍යසනය සමඟ අපට අනාගතයේ දී මුහුණ දීමට සිදු වන මධ්‍යකාලීන සහ දිගුකාලීන ආර්ථික, සමාජීය බලපෑම් අප අවබෝධ කරගත යුතු බවත් ඒ සදහා පිළියම් වශයෙන් අපේ රට ආහාරයෙන් හැකි පමණ ස්වයං පෝෂිත තත්ත්වයට ගෙන ඒමට වග බලා ගත යුතු බවත් පැවසු ඒ මහතා එහිදී තම තමන්ට හැකි අයුරින් තමන්ගේ නිවස් වලින් වගා කටයුතු ආරම්භ කළ හැකි බවත් පැහැදිලි කළේ ය.

“දිනමිණ“ට අදහස් දක්වමින් මේ බව පැවැසූ තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය .

මෙම කොරෝනා අර්බුදයට පෙර අප සිටියේ සෞභාග්‍යමත් යුගයකට ආරම්භයක් ලබා ගනිමිනි. පොහොසත් හෙටක් උදෙසා නව නායකත්වයක් යටතේ විධිමත් ව පෙළගැසෙමිනි.

ආර්ථිකමය , සංස්කෘතිමය , සාමාජීයව, ග්‍රාමීයව, නාගරිකව සහ අධ්‍යාත්මික වශයෙන් පොහොසතුන් වීම උදෙසා විශාල වැඩ කොටසක් ආරම්භ කර තිබූ අපේ රටට අද ලෝකය ම සසල කළ අසීරු අභියෝගය ජය ගැනීමේ වගකීම පැවරී තිබෙනවා .

මෙය හැකි අයුරින් තම තමන්ගේ නිවස්වල වගා කටයුතු සිදු කරගන්නට තරම් බුද්ධිමත් විය යුතු කාලයක්. හැකි උපරිමයෙන් ස්වයං පෝෂිත වීම ඕනෑ ම වසංගතයක් පසුපස එන ආර්ථික ප්‍රපාතයන්ගෙන් සුරක්ෂිත වීමේ මාර්ගය බව අප සිතට ගත යුතු වෙනවා. ඒ නිසා හැකි පමණින් අප අපේ ශක්තිය අස්වැද්දිය යුතුය. එකම රටක වැසියන් ලෙස එකම මාවතක ගමන් කළ යුතුයි.

ඕනෑම අභියෝයක් ජයග්‍රහණයට අවස්ථාවන් රැසක් තිබෙනවා . හිරෝෂිමාවට බෝමබ දැමීමේන් පසුව පවා ජපානය ලෝකය ම විශ්මයට පත් කරමින් ලෝකයේ පොහොසතුන් අතරට එක්වෙන්නේ ඔවුන් අත්විඳි ව්‍යසනයෙන් මිදීමට ගත් උත්සාහය විධිමත් වූ නිසයි. ඒ වාගේම අපේ රටේ ද තිස් වසරක යුද්ධයෙන් සිදු වූ පරිහානියට විධිමත්ව විසදුම් ක්‍රියාත්මක කරමින් පවතිනවා .

කඩා වැටීම් , නැගී සිටීම් උදෙසා ශක්තියක් කරගත් සියල්ලෝම අපරාජිත වෙයි.

ඒ නිසා සමස්ත ජාතිය නංවන ‘’ ජාතික සැලසුම් පිළිවෙතක්” හරහා සෞභාග්‍යයේ දැක්ම සාක්ෂාත් කර ගැනීමේ අරමුණ අප පෙරට වඩා ශක්තිමත් කරගත යුතු වෙනවා. එසේම අපේ ආකල්පයන් වඩ වඩාත් විධිමත් කරගත යුතු වෙනවා . මේ මොහොත් රජය ගන්නා පියවර උදෙසා අපි ශක්තිමත්ව සහාය ලබා දෙන්න අවශ්‍යයි . සෑම වසංගතයක් පසුපසම

ව්‍යසන ගණනාවක් පැමිණෙන බව අපි තේරුම් ගෙන කටයුතු කරන්න ඕන. ඒ සදහා

ආකල්පමය වශයෙන් ද අධ්‍යාත්මික ශක්තියෙන් ද පොහොසත් වී කටයුතු කරන්න අවශ්‍යයි .

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න