කොවිඩ් - 19 පාලනයට සහ මැඩපැවැත්වීමට තීන්දු රැසක් | දිනමිණ

කොවිඩ් - 19 පාලනයට සහ මැඩපැවැත්වීමට තීන්දු රැසක්

කොවිඩ් - 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සහ වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සදහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි. 
 
ඊයේ(06)  සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.
 
මෙහිදී COVID – 19 වසංගත තත්ත්වයට මුහුණ දීමට අදාල වැදගත් වූ තීන්දු තීරණ රැසක් පිළීබදව විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන් සෞඛ්‍ය අමාත්‍යතුමිය දැනුවත් කිරීමට පියවර ගන්නා ලදි.
 
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගීව සිටි මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා විසින් කියා සිටියේ මහජනතාව වෙත වර්තමානයේ මෙන් දැඩි පාලනයක් ඉදිරි කාල සීමාව තුල ද අත්‍යාවශ්‍ය වන බවයි. 
 
අප්‍රේල් 20 තෙක් දෙසතියක කාලසීමාව තුල වසංග තත්ත්වයේ දෙවන නැගීමක් අපේක්ෂා කරන බැවින් දින 14 ක් බැගින් කාල සීමාවන් දෙකක් තුල දී සීමාවන් සහ නීතිරීතී දැඩි කිරීම අත්‍යාවශ්‍ය බව ද පෙන්වා දෙන ලදි. 
 
එහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය කියා සිටියේ එම සති දෙකක කාලයෙන් අනතුරුව ද අවශ්‍ය වුවහොත් ඉහත ආකාරයෙන් කටයුතු කළ යුතු බවට ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මැතිතුමන් වෙත ලිඛිතව දැන්වීමට කටයුතු කරන බවයි.
 
මෙහිදී ප්‍රජා වෛද්‍ය සංගමය විසින් කරුණූ දක්වමින් හැකිතාක් දුරට පුද්ගලික වාහන ගමනාගමනය අවම කරගැනීම, තම නිවසට ආසන්න කුඩා වෙළෙදසැළකින් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදීගැනීමට යොමුවීම, පොදු වාහන භාවිතයේ දී දුරස්ථභාවය පවත්වාගෙන යාම, නිරන්තරයෙන් දෑත් සේදීම ආදී කරුණූ පිළිබද අත්‍යාවශ්‍ය කරුණ ඉදිරි මාස 06 සදහා පවත්වාගෙන යාම සුදුසු බව දන්වන ලදි. 
 
ඒ පිළිබදව අතිගරු ජනාධිපතිවරයා විසින් ප්‍රජාව දැනුවත් කිරීම වැඩාත් සුදුසු බව ද පෙන්වා දෙන ලදි. 
 
පොදු ප්‍රවහනයේ දී දුරස්ථභාවය ඇතිව ගමන් කළ යුතු බවට ක්‍රමවේදයක් සකස් කොට එය රට පුරා ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති කාර්ය සාධක බලකායට දැනුම්දීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පෙන්වා දෙන ලදි.
 
එමෙන්ම විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර මහතා කියා සිටියේ ඇදිරිනීති කාලසීමාව ක්‍රමාණුකූලව ඉවත් කිරීමෙන් පසු පොදු ජනයා අපහසුතායට පත් නොවන අයුරු අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සහ ආසාදිතයින් හදුනාගැනීමේ වැඩපිළීවෙළක් සමාජයේ ක්‍රියාත්මක කළ යුතු බවයි. 
 
එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ බුද්ධි අංශ හරහා අවශ්‍ය තොරතුරු ලබාගෙන වසංගත රෝග විද්‍යා ඒකකය සහ සම්බන්ධ වී ඒ සදහා අවශ්‍ය පියවර ගත යුතු බවයි.
 
නීති විරෝධී ලෙස පුද්ගලයින් රටතුලට ඇතුලුවීමේ අවධානම, මාර්තු 15 සිට 20 දක්වා විදේශයන්  හී සිට මෙරටට පැමිණි සියළු පුද්ගලයින් ස්වයං නිරෝධානයට යොමු කිරීමට කටයුතු කිරීම, වයස අවුරුදු 60 ට වැඩි ස්වසන රෝග ඇති පුද්ගලයින් සදහා සංකූලතා ඇතිවීමෙ වැඩි අවධානමක් ඇති බැවින් (ක්ෂුද්‍ර වෛද්‍ය සංගමය) ඔවුන් නිවෙස් තුලම රැදී සිටිය යුතු බවට වූ පණිවුඩය සමාජ ගත කිරීම යන කරුණු ද පෙන්වා දෙන ලදි.
 
ප්‍රතිකාර සහ පරීක්ෂණ සම්බන්ධයෙන් තොරතුරු යාවත්කාලීන කිරීම සදහා කණ්ඩායම් දෙකක් මේ වන විට යොදා ඇති අතර, ඉදිරියේ දී රෝගය පැතිරීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා තවත් කණ්ඩායමක් පත් කිරීමට ද මෙහිදී තීරණය කරන ලදි.
 
බෙහෙත් වට්ටෝරු නිවාස වෙත යැවීමේ කාර්යයේ දී ඇතැම් පුද්ගලයින් හට ගැටලු වලට මුහුණපෑමට සිදුව ඇති බැවින් වැඩිහිටි ලේකම් කාර්යාලය හරහා ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් මෙහිදී වැඩිදුරටත් දන්වා සිටින ලදි.
 
මේ වනවිටත් COVID-19 ප්‍රතිකාර කටයුතු සදහා යටිතලපහසුකම් සැළැස්මක් සකස් කොට ඇති බවත්, මුල්ලේරියා රෝහලේ මාතෘ හා නව ජන්ම ඒකක වැඩිදියුණු කිරීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටි අතර, IDH රෝහල සදහා Mobile CT Scanner යන්ත්‍රයක් ස්ථාපිත කිරීම සදහා කඩිනමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා වෙත උපදෙස් ලබාදෙන ලදි.
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු නිලධාරින් පිරිසක් සහභාගි වූහ.
 
 

කොවිඩ් - 19 

නව අදහස දක්වන්න