නයිජීරියානු සුපිරි නිළි ෆුන්කේ අකින්ඩේ අත්අඩංගුවට | දිනමිණ


 

නයිජීරියානු සුපිරි නිළි ෆුන්කේ අකින්ඩේ අත්අඩංගුවට

කොරෝනා වසංගතය වෙනුවෙන් නගර වසා දමා තිබියදී සාදයක් පැවැත් වූ නයිජීරියානු සුපිරි නිළියක වන ෆුන්කේ අකින්ඩේ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ලාගෝස් නුවර පිහිටි ඇයගේ මන්දිරයේ මේ සාදය පවත්වා ඇත්තේ චිත්‍රපට නිෂ්පාදකයකු වන ඇයගේ සැමියා වන ජේජේසී ස්කිල්ස්ගේ උපන් දිනය නිමිත්තෙනි.

නයිජීරියාවේ රෝග මර්දන මධ්‍යස්ථානයේ කොරෝනා ගැන දැනුවත් කිරීමේ වීඩියෝ පටයකට ද ඇය රංගනයෙන් දායක වී ඇත. තමන් සාදය පැවැත්වීම සාධාරණීකරණය කරන ඇය සාදයට සහභාගී වූ සියලු දෙනාම සති දෙකක කාලයක් තම නිවසේ ජීවත් වන අය බව කියා ඇත.

නයිජීරියාවේ විශාලම නගරය වන මිලියන 20කට වඩා ජීවත් වන ලාගෝස් නගරය වසා දැමීමත් සමඟ 25කට වැඩි පිරිසක් එක්රැස් වීම තහනම් කර තිබේ. මෙම සාදයට 25කට වැඩි පිරිසක් සහභාවී ඇත්දැයි නිශ්චිත නැතත් එය වැරැදි පූර්වාදර්ශයක් යැයි චෝදනා නැඟේ.

 

නව අදහස දක්වන්න