ප්‍රශ්නයට ගෙවත්තෙන් උත්තරයක් | දිනමිණ


 

ප්‍රශ්නයට ගෙවත්තෙන් උත්තරයක්

කොරෝනා වසංගතයත් සමග ලෝක ආර්ථිකය බලවත් අර්බුදයකට ගමන්කරමින් තිබේ. මේ තත්ත්වය දියුණුවෙමින් පවතින රටවලට ප්‍රබල බලපෑමක් එල්ලකරන බවට ආර්ථික විශේෂඥයන් දැනටමත් මත පළකර ඇත. විශේෂයෙන් ආහාර හිඟයක් හා සාගතයක් පිළිබඳව අනතුරු අඟවා තිබුණේ වසර ගණනාවක සිටය.

නිෂ්පාදන ආර්ථිකයක් නොමැති ශ්‍රී ලංකාවට මේ තත්ත්වය වඩාත් අහිතකර ලෙස බලපානු ඇත. කෘෂිකාර්මික අතින් දියුණු තැනකට ගෙන ඒමට හැකියාව තිබූ මෙරට ආර්ථිකය 1977 න් පසු කාර්මීකරණයට වැඩි ඉඩක් සපයමින් කෘෂිකාර්මික කේෂ්ත්‍රය අමතකකර දැමීම නිසාම අපට අත්විදින්නට සිදුවන ප්‍රතිවිපාක දරුණුය.

ලෝකයේ බලවත් රටවල්පවා කෘෂි ආර්ථිකයට මුල්තැනක් ලබාදෙද්දී ශ්‍රී ලංකාව ඊට දෙවැනි තැන ලබාදීම නිසාම වසර ගණනාවක සිට කෘෂි කේෂ්ත්‍රයේ පිරිහීමක් දකින්නට ඇත. ලොව දියුණු රටවල සංවර්ධන ඉතිහාසය ගෙන බැලූවිට ඔවුන් මූලිකත්වය දී ඇත්තේ කෘෂිකර්මාන්තය සදහාය.අසල්වැසි ඉන්දියාව ඊට කදිම නිදසුනය. ඉන්දියාව ලෝකයට විවෘත කළද ඔවුන් දේශීය කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට මූලිකත්වය දී තිබේ.

දේශීය ආර්ථිකය ශක්තිමත් නොකළ ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකය සමග විශ්ව ගම්මාන සංකල්පය ගෙන එමින් ලොව ශක්තිමත් රටවල් සමග මෙරට ආර්ථිකය සංසන්දනය කළේය. ලොව බොහෝ රටවල් කෘෂිකාර්මික පර්යේෂණ සදහා දළ දේශිය නිෂ්පාදනයෙන් 1% කටත් වඩා වෙන් කළද ශ්‍රී ලංකාව ඒ සදහා වෙන් ක⁣ළේ් 0.5% කි. එයද ක්‍රමානුකූලව අඩුවෙමින් මේ වනවිට කෘෂි පර්යේෂණ සදහා වෙන් කෙරෙන මුදල 0.2% දක්වා පහළ වැටී ඇත.මෙරට බොහෝ කෘෂි පර්යේෂණ වී වලට ප්‍රමුඛතාව දී තිබීම නිසාම අනෙකුත් බෝග වගාවන් බරපතළ කඩාවැටීමකට ලක්ව ඇත.

වර්තමානය වනවිට ශ්‍රී ලංකාව බොහොමයක් කෘෂි නිෂ්පාදන ආනයනය කරන මට්ටමට පැමිණ ඇත්තේද ,මුංඇට, කවුපි, බඩඉරිගු, කුරක්කන්, තල, මෙනේරි, වැනි අතිරේක බෝග සදහා ගොවියා දිරිමත් කිරීමට වැඩ පිළිවෙළක් නැත්තේද මෙරට දකින්නට ලැබෙන කෘෂි පර්යේෂණවල අඩුව නිසාය.විශේෂයෙන් අතිරේක බෝග සදහා මිනිස් ශ්‍රමය වැඩි වශයෙන් අවශ්‍යය.එවැනි තත්ත්වයකදී මිනිස් ශ්‍රමය අඩුවෙන් ලබාගනිමින් බෝගවගාව සදහා නව ක්‍රම අත්හදා බැලීමට ප්‍රමාණවත් පර්යේෂණ අප සිදුකර නැත.වී වගාව වෙනුවෙන් එවැනි පර්යේෂණ සිදුකරමින් ඒ සදහා පහසුකම් සැපයීමේ ප්‍රතිඑල මේවන විට අප අත්විදිමින් සිටී. මේ නිසාම සහල් ආනයනය නතරකළ හැකි මට්ටමට වී වගාව පත්ව ඇත. අතිරේක බෝග අතහැර පහසුකම් ඇති වී වගාවට බොහෝ ගොවීන් යොමුවීම නිසාම අතිරේක බෝග වගාවෙන් ගනු ලබන නිෂ්පාදන සියල්ලම ආනයනය කරන මට්ටමට පැමිණ ඇත.

ලෝක ආර්ථික අර්බුදය තවතවත් වර්ධනය කරමින් කොරෝනා වසංගතය ලොවපුරා ව්‍යාප්ත වීම නිසාම, මෙතෙක් විවිධ රටවලින් භාණ්ඩ ආනයනයට තිබුණු අවස්ථා මගහැරී යනු ඇත. ඒ අතරින් මෙරටට බලපාන විශේෂිත කරුණ වන්නේ ආහාර ආනයනය පිළිබදව ඇතිවන අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීමය. මෙරට වගාකිරීම හැර ඊට වෙනත් විසදුම් නැත.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලොව අනෙක් රටවල කෘෂි නිෂ්පාදන සහ අනෙකුත් කර්මාන්තද බිද වැටීමකට ලක්වෙමින් තිබේ. එවැනි වටපිටාවක ඔවුන් නිෂ්පාදනය කරන ආහාර තවත් රටකට ලබාදීමට ප්‍රමාණවත් වන්නේ නැත.මෙම තත්ත්වය අවබෝධකර ගනිමින් මෙරට ආර්ථිකයේ කඩාවැටීම අවම කරගැනීම සදහා කෘෂි ආර්ථිකය නැවත ගොඩනැගිය යුතුය. ඒ සදහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් සකස්කළ යුතුය. විදෙස් රටවලින් ආහාර ආනයනය කළ නොහැකි වටපිටාවක අප කඩිනමින් විමසා බැලිය යුත්තේ කෙටිකාලීන විසදුම් සකස් කිරීමේදී ගතයුතු පියවර පිළිබදවය.

ඉදිරි වගාකන්නය වන්නේ මෙරට වර්ෂා ජලය අඩුවෙන් ලැබෙන යල කන්නය වීම නිසා ඒ පිළිබදව වැඩි සැළකිල්ලක් දක්වමින් සැලසුම් සකස් කළ යුතුව ඇත. මැයි මාසයෙන් ආරම්භවන යල කන්නය මෙරට වගාකටයුතු අඩුවෙන් සිදුවන කන්නයකි.වාරි ජලයෙන් වගාකටයුතු සිදුකිරීම හේතුවෙන් මෙම කන්නය ප්‍රධාන කන්නයක් සේ නොසැලකීම නිසා ගොවීන් සිය සුපුරුදු වගා රටාවට යොමුවන්නේ නැත. මේ හේතුව නිසාම වසර විස්සක පමණ සිට ජුනි මාසයෙන් පසු මෙරට එළවළු මිල උපරිම මට්ටමකට යාම සාමාන්‍ය තත්ත්වයකි. වෙ⁣ළෙද පොළේ මිල ස්ථායී කිරීම සදහා විදේශයන්ගෙන් අල, ලූණු, මිරිස්,පරිප්පු ආදිය ගෙන්වීම මේ කාලයේ දක්නට ලැබෙන සුලබ සිදුවීමකි. එහෙත් මෙවර ලෝක තත්ත්වය හමුවේ එවැන්නකට ඉඩකඩ නොමැති බව පැහැදිලිය. අප භාණ්ඩ ආනයනය කරන බොහොමයක් රටවල් මේවනවිට කොරෝනා වසංගතයේ ගොදුරු බවට පත්වෙමින් තිබීම නිසාම ඔවුන්ගේ නිෂ්පාදනද අඩුවිය හැකිය.

ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය පාලනයට ඇදිරිනීතිය දැමුවද කෘෂිකාර්මික කටයුතු සදහා නිදහස ලබාදෙමින් වරින් වර ආණ්ඩුව නිවේදන නිකුත්කළේද මෙකී බැරෑරුම් තත්ත්වය අවබෝධකොට ගෙනයැයි සිතිය හැකිය.

කෘෂි කේෂ්ත්‍රෙය් පලදායීතාව වැඩිකිරීම කඩිනම් කළයුතු අතර ඒ සදහා ගොවීන්ට මගපෙන්වීම අත්‍යවශ්‍යය. අක්කරයකින් ලබාගත හැකි උපරිම අස්වැන්න ලබාගැනීම සදහා ගොවීන් දිරිමත් කළයුතුය. වී සම්බන්ධයෙන් ගත්කල පවතින තාක්ෂණය යටතේ වාරි ජලයෙන් වගාකිරීමේදී හෙක්ටයාරයකින් අස්වැන්න වී කිලෝ දස දහසක් ලබාගත හැකිය. එහෙත් මේවනවිට ගනු ලබන්නේ වී කිලෝ පන්දහසක් පමණි.මෙයට ප්‍රධාන හේතුව ගොවියා නිවැරැදි තාක්ෂණය අනුගමනය නොකිරීමය.

අස්වනු අඩුවීමට තෙල් පොහොර අධික භාවිතය මෙන්ම ගුණාත්මක බීජ භාවිතයේ අඩුවද බලපාන බව ප්‍රධාන වශයෙන් දැකිය හැකිය. මෙම වැරදි නිවැරැදි කිරීමට මෙරට කෘෂි ව්‍යාප්ති සේවය ශක්තිමත් කළයුතුය. 1989 වසරේදී කෘෂි ව්‍යාප්ති නිලධාරීන් ග්‍රාමනිලධාරීන් බවට පත්කිරීම හේතුවෙන් කෘෂි ව්‍යාප්ති සේවයේ විශාල හිඩසක් ඇතිවිය. මෙම හිඩස මේවන තෙක් පිරවීමට කිසිවකුත් සමත්වී නැත. දැනට සිටින කෘෂි ව්‍යාප්ති නිලධාරියකුට අයත් කෘෂි පවුල් සංඛ්‍යාව 3500කට වැඩිය. එනිසාම විවිධ ආණ්ඩු ගෙනා වැවිලි ව්‍යාපෘති බොහොමයක් ප්‍රතිඑල රහිත තත්ත්වයට පත්ව ඇත. මෙවැනි තත්ත්වයක් තුළ කෘෂි කේෂ්ත්‍රය නගාසිටුවීම පහසු නොවනු ඇත.

ගොවියාගේ එලදායීතාව වැඩිකිරීම සදහා ගොවියාට දැනුම ලබාදිය යුතුය. ඒ සදහා දැනුවත් නිලධාරීන් අවශ්‍යය.මෙරට වගාකෙරෙන කෘෂි නිෂ්පාදනවල මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වන්නේද වගාබිමෙන් නිසි පලදායීතාව ළඟාකර නොගැනීමය. අක්කරයකින් ලබාගත යුතු අස්වැන්න නිසි ආකාරව නොලැබෙන විට වියදමට සරිලන අස්වැන්නක් නොලැබේ. එවිට තම නිෂ්පාදනවල මිල ඉහළ දැමීම හැර ගොවියාට කළ හැකි වෙනත් දෙයක් නැත. මේ තත්ත්වය කෘෂි කේෂ්ත්‍රෙය් සිටින සියලු දෙනා තේරුම් ගතයුතුව ඇත. එබැවින් කෘෂි නිෂ්පාදනයේදී ඇතිවන ඉහළ නිෂ්පාදන වියදම අඩුකිරීමට ප්‍රතිපත්ති සම්පාදනය වියයුතුය.

මේ සදහා විශේෂ කමිටු හදා කමිටුවලට මුදල් වෙන්කොට එම මුදල් ද අපතේ යන තත්ත්වයක් ඇතිකළ යුතු නොවේ. කෘෂි කේෂ්ත්‍රෙය් දැනට තිබෙන රාජ්‍ය ව්‍යුහය ඊට හෙදටම ප්‍රමාණවත්ය.

මුදල් අමාත්‍යංශය යටතේ පවතින ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ විශේෂඥ දැනුම සහිත නිලධාරීන්ගේ සේවය ඒ සඳහා ලබාගත යුතුය. එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අමාත්‍යංශය යටතේ පවතින ආයතන මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවන්නට හොදටම ප්‍රමාණවත්ය. කෘෂි කර්මාන්තය නංවාලීමේදී කෘෂි විද්‍යාපීඨවලින් පිටවන දැනුවත් සිසුන්ගේ සේවය ලබාගැනීමට කටයුතු කළයුතුය.නිලධාරීන්ගේ සිට ගොවියා දක්වා ආකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් කඩිනම් වැඩපිළිවෙළකට යාම වැදගත්ය. මෙහිදී ඉලක්ක කණ්ඩායම වියයුත්තේ තරුණ පරපුරය.

ගොවියාගේ අතමිට සරුවේනම් තරුණ පරපුර ගොවිතැනට යොමුවනු ඇත. අලුත් තාක්ෂණය කෘෂි කේෂ්ත්‍රයට හදුන්වාදීම හරහා කෘෂි වගාවන් ජනප්‍රිය කරවීමටත් තරුණ පරපුර වගාවන් කෙරෙහි යොමුකරවීමටත් හැකිවනු ඇත. ගොවි නිෂ්පාදන අලෙවියේ දී අතරමැදි ග්‍රහණයෙන් ගොවියා මුදවාගෙන ගොවියා ව්‍යාපාරිකයකු බවට පත්කිරීම හරහා ඔහුට සමාජ වටිනාකමක්ද ලබාදිය හැකිය. මෙවැනි තත්ත්වයන් හරහා කෘෂි නිෂ්පාදන සහනදායී මිලකට ලබා ගැනීමේ හැකියාව උදාවනු ඇත.

අස්වනු අපතේ යාම මෙරට දකින්නට ලැබෙන අවාසනාවන්ත තත්ත්වයකි. පසු අස්වනු රැක ගැනීම පිළිබදව ගොවියා දැනුම්වත් කිරීම හරහා අස්වනු රැක ගැනීම කළ හැකිය.මෙරට කෘෂි කේෂ්ත්‍රෙය් පෞද්ගලික සමාගම් රැසක් අස්වනු අපතේ යාම වළක්වා ගැනීම සදහා දියුණු ක්‍රම භාවිතා කරණු දැකිය හැකිය. මෙවන් අවස්ථාවක ඔවුන්ගේ සහායද ලබාගත යුතුය. බෝංචි, අර්ථාපල්, මාළුමිරිස්, අමුමිරිස් ලොකුලූණු වැනි වෙළෙඳ පොළෙහි එළවළු මිල තීරණයකරන බෝග වගාකිරීම සදහා ගොවියා දිරිමත් කිරීමෙන් එළවළු මිල යම්තාක් දුරකට පාලනය කරගත හැකිවනු ඇත.

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය කළමනාකරණය වැදගත්ය. එහිදී ගෙවතු වගාවට හිමිවන්නේ සුවිශේෂි තැනකි. කොරෝනා මර්දනය සදහා සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, මාධ්‍ය එක්ව සිදුකරනු ලබන මෙහෙවර මෙන්ම කෘෂි කර්මාන්තය ගොඩ නැගීම සදහා මෙරට කෘෂි විද්‍යාඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, ගොවීන් සහ කෘෂි විද්‍යාපීඨ ඇතුළු කෘෂි කේෂ්ත්‍රෙය් සියලු පාර්ශ්ව එක්ව සටනක් දියත් කළ යුතුය.එසේ නොවුණහොත් අනාගතයේදි ලෝකයටම හිසරදයක්වන ආහාර සපයා ගැනීමේ ගැටලුවේදී ශ්‍රී ලංකාවට බරපතළ තත්ත්වයන්ට මුහුණදීමට සිදුවනු ඇත.මෙම තත්ත්වයන් වළක්වා ගැනීම වෙනුවෙන් ජනතාව දැනුම්වත් කිරීමේදී මාධ්‍ය සතු කාර්යය භාරයද සුළුපටු නොවේ.

දුමින්ද සම්පත්

 

 

නව අදහස දක්වන්න