අප‍ට පුළුවන්! | දිනමිණ


 

අප‍ට පුළුවන්!

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතා කළ කතාව කාගේත් අවධානයට ලක් වී ඇත. කොරෝනා වසංගතය හමුවේ රටේ පවතින තත්ත්වය හා රජය ගෙන යන වැඩසටහන් පිළිබඳ පැහැදිලි කිරීමක් ඊට ඇතුළත් ය. එලෙසම මේ කතාව ඔස්සේ පුරවැසියාගේ බිය හා සැකය පහව ගොස් අනාගතය පිළිබඳ සාධනීය හැගීමක් ඇති වන්නේ යැයි කියන්නට පුළුවන. රටේ නායකයන් ජනතාවගේ විශ්වාසය තහවුරු වන අන්දමින් ක්‍රියා කළ යුතු අතර බුද්ධිමත් ලෙස ගැටලු නිරාකරණය කර ගත යුතු ය. ලෝකයේ බලවත් රටවල අතැම් නායකයන් මේ මොහොතේ ක්‍රියා කරනුයේ තැතිගැන්මෙන් යුතුව අවිචාරශීලි ලෙස ය. ශ්‍රී ලංකාවේ එබඳු තත්ත්වයක් නොවීම ගැන සතුටු විය හැකි ය.

අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දිනපතා ම ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවමින් රටේ තත්ත්වය පැහැදිලි කරයි. එක සාකච්ඡාවක දී චිනය විවේචනය කළ අතර තව සාකච්ඡාවක දී ඉන්දියාවට තර්ජනය කළේ ය. ඒ, ඉන්දියා ඖෂධ අපනයනය නවතා දමා ඇති බැවින් ය. මැලේරියා මර්දනයට යොදා ගනු ලබන ඖෂධ විශේෂ‍යක් අමෙරිකාවට වුවමනා වී තිබේ. ඉන්දියාවේ අපනයන සීමා කිරීම පිළිබඳ විවේචනයක් තිබිය හැකි වුව, මේ මොහොතේ ආමරිකාව තත් රාජ්‍යයකින් පළිගැනීමට සූදානම් වීම අනුමත කළ හැකි දෙයක් නොවේ. ට්‍රම්ප් මහතාගේ චර්යාව අපට කියා දෙන පාඩම වන්නේ, සෙසු රාජ්‍යයන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරිම සෑම නායකයකුගේම වගවීම විය යුතු බව ය. එහි ලා කියැවෙන තවත් පාඩමක් වන්නේ කොරෝනා ජයගැනීම සඳහා දේශීය යාන්ත්‍රණයක් තිබීමේ වැදගත්කම ය.

මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතා කියා සිටියේ අප සියල්ලන්ගේම පොදු සතුරා කොරෝනා වයිරසය බව ය. එය නිත්‍ය ලෙසම පරාජය කරන බව ද ඒ සඳහා හැකියාව හා ශක්තිය අපට ඇති බව ද මහින්ද මහතා පෙන්වා දුන්නේ ය. මෙබඳු වසංගත තත්ත්වයක් තුළ දී ජනතාවට එක අතකින් ප්‍රතිශක්තිය අවශ්‍ය වෙයි. තව අතකින් අධ්‍යාත්මික ශක්තිය හා විශ්වාසය ද අවශ්‍ය වෙයි. මහින්ද රාජපක්ෂ මහතා කතා කරන්නේ ඒ දෙකම තහවුරු වන ආකාරයෙන් ය. ජනතාවට නෑ කියන්නේ නැති බව ද බෑ කියන්නේ නැති බව ද, පොදු සතුරා ඉදිරියේ මඟ හැ යන්නේ නැති බව ද අගමැතිවරයා තවදුරටත් පැහැදිලි කරයි. ශ්‍රී ලංකාවේ ජනතාව මෙබඳු අභියෝග ගණනායක් ජයගෙන තිබේ. අවශ්‍ය වන්නේ ජනතාව‍ ඒ සඳහා පෙළ ගැස්වීම ය.

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා පෙර සූදානම ඇති කරගත්තේ දකුණු ආසියාවේ රටවල් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට පළමුව ය. කොරෝනා මරද්නය සඳහා කාර්ය සාධන කමිටුවක් හා බළකායක් ස්ථාපනය කළ දකුණු ආසියාවේ පළමු රාජ්‍ය වන්නේ ශ්‍රී ලංකාව ය. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අදහස වූයේ වසංගතය ජයගැනීම සඳහා විශේෂඥයන්ගේ ඍජු මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ය. ඒ අනුව සෞඛ්‍ය, ආරක්ෂක හා පොදු සේවා න අංශවල විශේෂඥයන්ගේ එකමුතුවෙන් කාර්ය සාධන කමිටු හා බළකාය නිර්මාණය විය. අදත් රජය තීන්දු තීරණ ගන්නේ විශේෂඥයන්ගේ මතවලට ඇහුම්කන් දෙමින් ය. මේ නිසාම කොරෝනා මර්දනයේ දී වෙනත් රටවලට සාපේක්ෂව ජයග්‍රාහී තැනෙක පසුවන්නට අපට හැකියාව ලැබී තිබේ.

කොරෝනා මර්දනය සඳහා රජය ගෙන යන වැඩසටහන්වලට පක්ෂ නායකයන්ගේ පූර්ණ සහයෝගය ලැබෙන බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේ ය. එය ඉබේ ඇති වූවක් නොවේ. අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පක්ෂ නායකයන්ගේ අදහස් හා යෝජනා ද රජය ලබා ගත්තේ ය. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන්ගේ සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණි. කොරෝනා කාර්ය සාධක බළකායට ද පක්ෂ නායකයන්ගේ සහභාගීත්වය ලබාගෙන ඇත. මෙය සාධනීය තත්ත්වයකි. ජාතික අර්බුදයක දී සියලු පක්ෂ පොදු සතුරා පරාජය කිරීම සඳහා ක්‍රියා කළ යුතුය. එලෙසම රජය දේශපාලනය හෝ වෙනත් භේද නොසලකා තීන්දු තීරණ ගත යුතු ය. එය එලෙසම සිදුවන බව ද පෙනෙයි.

කොරෝනා අර්බුදය හමුවේ ප්‍රධාන සාධක තුනක් කෙරෙහි අවධානය යොමු කිරීමට සිදු වෙයි. පළමු සාධකය වන්නේ වයිරසයේ ව්‍යාප්තිය වළක්වා ගනිමින් වසංගත තත්ත්වය මුලිනුපුටා දැමීම ය. දෙවන සාධකය වන්නේ ජනතාවගේ එදිනෙදා ජීවිතය යථා තත්ත්වයට ගැනීම ය. තුන්වන සාධකය වන්නේ අනාගත ආර්ථික පසුබෑමට සාර්ථකව මුහුණදීම ය. සෑම ගැටලුවක් ම බරපතළ අභියෝග ලෙස පවතී. සමස්ත ලෝකය ම අර්බුදයේ පැටලී ඇති බැවින් ජාත්‍යන්තර සහයෝගය ද සීමාසහිත තැනෙක පවතී. රටට ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ග සියල්ලක්ම වැසී පවතී. අඟලුම් ක්ෂේත්‍රය, විදේශ රැකියා, සංචාරක කර්මාන්තය මෙන්ම අපනයන ක්ෂේත්‍රය ද පසුබෑමට ලක් වී ඇත.

අගමැතිවරයා ජාතිය අමතමින් ඉහත කී සියල්ල පැහැදිලි කළේ ය. රජය හා නායකයන් විනවිද පෙනෙන සුලු ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාවට නංවන බව ද කිසිවක් සඟවන්නේ නැති බව ද පෙනී යයි. එය යහපත් ප්‍රවණතාවෙකි. අර්බුදය ජයගැනී‍ම සඳහාජනතාවගේ සහාය ලබාගත හැක්කේ විශ්වාසය ගොඩනැගෙන කරමට ය. රජය ගෙනයන වැඩසටහන් නිවැරැදි බවට විශ්වාසයක් බහුතර ජනතාව තුළ පවතී. ඒ අනුව නිරෝධායන වැඩසටහන් සාර්ථක වී ඇති බව දැකගත හැකි ය. අපට මේ අර්බුදය ජයගත හැකිය යන විශ්වාසය කා තුළත් තිබිය යුතු ය.

නව අදහස දක්වන්න