බොරු කියන්නන්ගෙන් පරිස්සම් වෙන්න | දිනමිණ


 

බොරු කියන්නන්ගෙන් පරිස්සම් වෙන්න

නාලක කලුවැව
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

සිදු විය හැකි සමාජ හානිය නොතකා පළ කරන අසත්‍ය ප්‍රකාශයන් හේතුවෙන් නොසිතූ විරූ ප්‍රතිඵල ඇති විය හැකි අතර එවැන්නක් සිදු කරන්නන්ට එරෙහි ව විශේෂයෙන් ම පරිගණක අපරාධ සහ සාමාන්‍ය අපරාධ නීතිය යටතේ පියවර ගත හැකි බව විශේෂයෙන් සඳහන් කළ යුතු ම ය.

ගෝලීය අර්බුදයක් බවට පත්වෙමින් ජීවිත බිලිගන්නා කොවිඩ් -19 මෙරට තුළ නිර්මාණය කරන ලද අවදානම් සහගත තත්ත්වයෙන් අත්මිදීමට රටක් ලෙස අප නොයෙක් පිළියම් සොයමින් සිටිමු. එක් අතෙකින් රෝගය පැතිර යෑම අවම කළ යුතු ය. තවත් අතෙකින් රෝගයට ප්‍රතිකාර සෙවිය යුතු ය. රෝගීන්ට ප්‍රතිකාර කළ යුතු සේ ම නිරෝධායන වැඩ පිළිවෙල ද නොකඩවා පවත්වාගෙන යා යුතු ය. ඇඳිරිනීතිය තුළ නිවෙස්වලට කොටු වී සිටින ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් කටයුතු යෙදිය යුතු ය. අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යා යුතු ය. එසේ ම ප්‍රධාන වශයෙන් මේ සියලු කාරණා පිළිබඳ ව ජනතාව දැනුවත් කළ යුතු ය.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ සේ ම සමාජ ජාල ඔස්සේ ද මේ පිළිබඳ පුවත් සැණින් එසැණින් සංසරණය වේ. ඒ අතර සත්‍ය සේ ම අසත්‍ය පුවත් ද කොතෙකුත් ය. මෙවන් ජාතික උපද්‍රවයක් අවස්ථාවේදී ජනතාව ප්‍රධාන වශයෙන් ම විශ්වාසය තැබිය යුත්තේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු පිළිබඳ ව ය. එහෙත් ඉන් අදහස් වන්නේ සමාජ ජාලවල පළ වන සියලු පුවත් සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කළ යුතු බව නම් නොවේ. යම් ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍යවල පළවන විට ජනතාව විශේෂයෙන් විමසිලිමත් විය යුත්තේ එය පළකරන්නේ කවුරුන් විසින් ද? යන කාරණාව පිළිබඳ ව ය.

කෙසේ වුව ද ලෝකයේ වත්මන් තත්ත්වය තුළ සමාජ මාධ්‍ය තුළින් සිදු වන පුවත් සංසරණයට ද යම්කිසි වැදගත්කමක් හිමි වන බව පැහැදිලි ව පෙනෙන්නට තිබේ. ප්‍රධාන ධාරාවේ මාධ්‍යය මඟින් පමණක් ම පුවත් සංසරණය සිදු කිරීම අද වන විට කිසිසේත් ම ප්‍රායෝගික නොවේ. මන්ද යත් බහුතරයක් ජනතාව නිරන්තරයෙන් සමාජ මාධ්‍ය පරිහරණය කරන අතර ඇතැමුන් තුළ ඒ කෙරෙහි ඇත්තේ ඇබ්බැහි වීමක් ය.

සමාජ මාධ්‍ය වේගවත් සේ ම වැඩි දෙනෙකුට පහසුවක් සපයන මාධ්‍යයක් ව පැවතීම එයට හේතු වී තිබේ. ඔබ සමාජ මාධ්‍ය පරිහරණය කිරීමේ වරදක් නැතත් එතුළ සංසරණය වන පුවත් පිළිගැනීමේදී හෝ නොපිළිගැනීමේදී ප්‍රවේශම් විය යුතු බව නම් නැවත නැවතත් සිහි කැඳවිය යුතු ම ය. හැම විට ම විශේෂයෙන් ම සැලකිලිමත් විය යුත්තේ අදාළ ප්‍රවෘත්තිය පළ කරන්නේ කවුරුන් විසින් ද ? යන කාරණාව පිළිබඳ ව ය. මේ වන විට නව කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ තොරතුරු දැනගත හැකි විශ්වාසවන්ත මූලාශ්‍රවලට උදාහරණ වශයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, ජනාධිපති මාධ්‍ය අංශය, අගමැති මාධ්‍ය අංශය දැක්විය හැකි අතර ඊට අමතර ව ප්‍රධාන වශයෙන් ම මේ සියලු ආයතන සම්බන්ධීකරණය කරමින්, ජනමාධ්‍ය ආයතනවලටත්, ජනතාවටත් නිවැරදි සහ තහවුරු කරන ලද තොරතුරු ලබාදීමේ වගකීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් දරයි. මේ අවස්ථාවේ දී කොරෝනා වෛරසය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන යම් ප්‍රවෘත්තියක් ඔබ විසින් පිළිගත යුත්තේ එය වගකිව යුතු මූලාශ්‍රයකින් පැමිණි බව හොඳින් පැහැදිලි වන විටක පමණි.

තනි පුද්ගලයන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන තොරුතුරු මත පදනම් නොවී, වගකීම් සහගත ව ආයතනික වශයෙන් තහවුරු කරන ලද පුවත් සංසරණය කරමින් පවත්වාගෙන යන ෆේස්බුක්, ට්විටර්, වෙබ් ඇතුළු ඕනෑ ම මූලාශ්‍රයක් පරිශීලනය කිරීමේ වරදක් නැත. තහවුරු නොකරන ලද ප්‍රවෘත්තියක්, ඇතැම්විට කිසිවකුගේ පදනම් විරහිත හිතළුවක් වීමට ඇත්තේ ඉහළ සම්භාවිතාවකි. එසේ හෙයින් විවිධ වූ මූලාශ්‍ර ඔස්සේ විවිධ වූ තොරතුරු අනවරත ව සංසරණය වන මෙවන් ව්‍යවසන තත්ත්වයකදී අප ඔබෙන් ඉල්ලා සිටින්නේ පෙර සඳහන් කළ පරිදි වගකිව යුතු මූලාශ්‍ර මත යැපෙන මෙන් ය.

මේ අවස්ථාවේ වැරදි තොරතුරු සමාජගත කරමින් සමාජය නොමඟ යවන්නා වූ පුද්ගලයන්ට විරුද්ධ ව නීත්‍යනුකූල ව පියවර ගත හැකි අතර එය එයාකාරයෙන් ම සිදු වන බව ද සමාජය හොඳින් දත යුතු ය. බොහෝ විට මෙයාකාරයෙන් අසත්‍ය, ද්වේෂ සහගත ප්‍රකාශයන් සහ සමාජය විවිධ අර්බුද කරා මෙහෙයවන, ජනතාව නොමඟ යවනසුලු පුවත් පළ වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ය. එසේ හෙයින් මේ අවස්ථාවේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අසත්‍ය සහ ජනතාව නොමඟ යවනසුලු පුවත් යම් නිරීක්ෂණයකට ලක් වන බව ද පැහැදිලි ව කිව යුතු ය. එම නිරීක්ෂණය පොලීසිය ඇතුළු ආයතන කිහිපයක් විසින් සිදු කෙරෙන අතර සමාජ මාධ්‍ය තුළ පළ කෙරෙන අසත්‍ය තොරතුරු පිළිබඳ විමසා වාර්තා කිරීමට සමාජ මාධ්‍ය පරිශීලනය කරන ස්වේච්ඡා කණ්ඩායමක් ද ඉදිරිපත් වී සිටීම විශේෂත්වයකි.

ඔවුන් නිරන්තරයෙන් සංවිධානාත්මක ව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සියලු ප්‍රවෘත්ති නිරීක්ෂණය කරයි. සමාජයට යම් අහිතකර බලපෑමක් සිදු වන අන්දමින් අසත්‍ය හෝ නොමඟ යවනසුලු ප්‍රකාශ සහ පුවත් පළකරන්නන්ට එම නිරීක්ෂණ හමුවේ අනිවාර්යෙන් ම නීතිය ඉදිරියට පැමිණීමට සිදු වේ. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් කිහිප දෙනකු අත්අඩංගුවට පත් ව ඇත. කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ රෝහල ප්‍රභූ පංතියට වෙන්කොට ඇති බවට වූ අසත්‍ය පුවතක් දින කිහිපයකට උඩදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර විමර්ෂණ ඔස්සේ යන විට අනාවරණය වී ඇත්තේ එය විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු විසින් පළ කරන ලද්දක් බව ය. පොලිසිය සනාථ කරනුයේ අදාළ සිසුවා අත්අඩංගුවට ගෙන ඇති බව ය. නීතිය අවධියෙනි. හුදු විනෝදය තකා හෝ වෙනත් අරමුණු ඇති ව, නොඑසේ නම් දුරදිග නොසිතා සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශයන් සිදු කිරීම මේ මොහොතේ දැලි පිහියෙන් කිරි කෑමක් විය හැකි ය.

සිදු විය හැකි සමාජ හානිය නොතකා පළ කරන අසත්‍ය ප්‍රකාශයන් හේතුවෙන් නොසිතූ විරූ ප්‍රතිඵල ඇති විය හැකි අතර එවැන්නක් සිදු කරන්නන්ට එරෙහි ව විශේෂයෙන් ම පරිගණක අපරාධ සහ සාමාන්‍ය අපරාධ නීතිය යටතේ පියවර ගත හැකි බව විශේෂයෙන් සඳහන් කළ යුතු ම ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් රජයේ තොරතුරු මහජනතාව වෙත සම්ප්‍රේෂණය කළ යුතු අතර ඇඳිරි නීතිය පනවා ඇති මෙවන් අවස්ථාවක ද අත්‍යවශ්‍ය සේවාවක් සපයන ආයතනයක් ලෙස දෙපාර්තමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑම නොකඩවා සිදුවීමේ වැදගත්කම පැහැදිලි ව පෙනෙන්නට තිබේ. කොවිඩ් -19 රටක් අනතුරේ හෙළා ඇති අවස්ථාවක රජය විසින් ගන්නා පියවර සහ තීන්දුතීරණය පිළිබඳ ව මහජනතාව දැනුවත් විය යුතු ම ය. එසේ ම මේ අවස්ථාවේ කැබිනට් මණ්ඩලය, අමාත්‍යංශ, රාජ්‍ය ආයතන, කාර්යසාධක බලකා ඇතුළු ව රජය විසින් ගන්නා තීරණ පිළිබඳ ව දැනුවත් වීම සැබැවින් ම මහජනතාව සතු අයිතියක් ම ය.

එය එසේ ම සිදු නොවුණ හොත් මිනිසුන්ට හැඟී යා හැක්කේ රටට ආණ්ඩුවක් නොමැති බව ය. එසේ හෙයින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සිය ආයතනික වගකීම ඉටු කරමින් පැය 24 පුරා මාධ්‍ය සමඟ මනා සබඳතාවක් පවත්වාගෙන යමින් ජනතාවට නිරතුරු ව තොරතුරු ලබාදීමට කටයුතු කරයි. මෙවන් අනතුරුදායක අවස්ථාවකදී කාර්ය මණ්ඩලයේ සියලු දෙනා රාජකාරියට කැඳවන්නේ නැති අතර ඉතාමත් සීමිත පිරිසක් සංවිධානාත්මක ව මේ සියලු කර්තව්‍යයන් ආයතනය තුළ සිට ඉටු කිරීමට පූර්ණ දායකත්වය ලබාදෙන්නේ තවත් පිරිසක් නිවෙසේ සිට සිය රාජකාරිය ඉටු කිරීමට බැඳී සිටින මොහොතක ය.

කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාව සහ අනෙකුත් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡා මේ දිනවලත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වුව ද එම ප්‍රවෘත්ති සාකච්ඡා විවෘත වන්නේ සීමිත කණ්ඩායමකට පමණි. බොහෝ විට එලෙස විවෘත වන්නේ රූපවාහිනී මාධ්‍යවේදීන්ට වන අතර පුවත්පත් ඇතුළු අනෙකුත් මාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීන්ට තොරතුරු ලබාගත හැකි වන පරිදි ඒ බොහෝ ප්‍රවෘත්ති සාකච්ඡා සජීවී ව විකාශය කිරීමට ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කටයුතු යෙදීම විශේෂත්වයකි.

නොඑසේ නම් ප්‍රවෘත්ති සාකච්ඡාව අවසන් වූ වහා ම එහි සම්පූර්ණ වීඩියෝ පටයක් මුදාහැරීම ද සිදු කෙරෙන්නේ මාධ්‍ය ආයතනවලට තොරතුරු ලබාගැනීමේ පහසුව තකා ය. මූලික අභිප්‍රාය රජයේ වැඩපිළිවෙළ පිළිබඳ ව ජනතාවට නිවැරදි අවබෝධයක් ලබාදීම වන අතර එය මේ අවස්ථාවේ දී ඉතාමත් සීමිත පිරිසක් සහභාගී කරවා ගනිමින් සිදු කිරීමට අප උත්සුක වන්නේ රෝගය පැතිර යෑමේ අවදානම අවම කිරීමට පළමු අවදානය ලබාදිය යුතු බැවිනි.

මෙරටින් කෝවිඩ් -19 ආසාදිතයන් හමුවීමත් සමඟ ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය ප්‍රධානීන් අරඹයා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූයේ ද, එම වෛරසය පිළිබඳ අසත්‍ය තොරතුරු ජනතගත වීම වැළැක්වීමටත් නිවැරදි ම තොරතුරු ජනතාවට ලබාදීමටත් සුදුසු වැඩපිළිවෙළක් සහ මාධ්‍ය කණ්ඩායමක් නිර්මාණය කරගැනීමේ අරමුණෙනි. එසේ ම එහිදී විශේෂයෙන් ම විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමඟ එකඟතාවකට පැමිණියේ මේ සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍ය තුළින් කළ හැක්ක සහ කළ හැකි ආකාරය පිළිබඳ ව ය.

මෙරට පවතින රාජ්‍ය, පෞද්ගලික සියලු ම විද්‍යුත් මාධ්‍යවල පාලකයන්ගේ නැතහොත් අයිතිකරුවන්ගේ එකතුවක් වන විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ද මේ අවස්ථාවේදී නිවැරදි අවබෝධයකින් කොරෝනා මර්දන වැඩසටහන වෙනුවෙන් දායක කරගැනීමට හැකියාව ලැබී තිබෙන අතර රජය විසින් ලබා දෙන පණිවිඩ සහ අනෙකුත් පණිවිඩ මේ අවස්ථාවේදී කිසිඳු ගැටලුවකින් තොර ව ජනතාව වෙත රැගෙන යෑමට ප්‍රධාන ධාරාවේ සියලු මාධ්‍ය කටයුතු කරයි. එසේ ම 2020.04.02 වැනි දා අප විසින් ප්‍රවෘත්ති විකාශයන් සම්බන්ධයෙන් නිකුත් කරන ලද මාර්ගෝපදේශ සංග්‍රහය අනුව සියලු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමු.

ජනතාවට නිරතුරු ව නිවැරදි ම තොරතුරු ලබාදීමේ දී රජය විසින් ලබාදෙන තොරතුරු පිළිබඳ ව ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීම පළමු ව සිදු කළ යුත්තකි. එම විශ්වාසය ඇති කළ හැක්කේ වගකීම් සහගත මූලාශ්‍රයකින් නිවැරිදි ව සහ වේගවත් ව තොරතුරු ලබාදීම තුළිනි. එම කටයුත්ත වෙනුවෙන් සක්‍රීය ව දායක වීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සිදු කරයි.

ඒ අනුව නිරෝධායනයට ලක් කරන පිරිස් සහ නිරෝධායනය අවසන්කොට නිවෙස් කරා යන කණ්ඩායම් පිළිබඳ තතු, ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ, අවදානම් කළාප ලෙස හඳුනාගත් ප්‍රදේශ, රෝගය පැතිර යෑමේ අවදානම, මරණ සංඛ්‍යාව මෙන් ම ආසාදිතයින් සංඛ්‍යාව දෛනික ව නිල ප්‍රකාශ මඟින් නිකුත් කිරීමටත් ආයතනවලින් ලබාදෙන නිවේදන පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමටත් පළමු ව කටයුතු කරනුයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යි. මේ සියලු තොරතුරු පළමු ව සහ නිවැරදි ව මාධ්‍ය වෙත ලබාදෙන බවට අප විසින් මාධ්‍ය ආයතන අතර ද විශ්වාසයක් ඇති කළ යුතු ය. මන්ද මාධ්‍ය ආයතන වෙනත් විවිධ මූලාශ්‍රවලින් ප්‍රවෘත්ති ලබාගැනීමට උත්සාහ කරනුයේ එය එසේ සිදු නොවුණහොත් ය.

කෙසේ වෙතත් මේ වන විට අපට නිරීක්ෂණය වන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වේගවත් ව නිවැරදි තොරතුරු නිරන්තරයෙන් මාධ්‍ය වෙත ලබාදෙන බැවින් බහුතරයක් මාධ්‍ය ආයතන, ඇතැම් විට ප්‍රවෘත්තිය ඔවුන්ට කිසියම් මාර්ගයකින් ලැබී තිබුණ ද අප විසින් තහවුරු කරන තුරු විකාශය කිරීමෙන් බොහෝ දුරට වැළකී සිටින බවකි. එයාකාරයෙන් 90%කට ආසන්න මාධ්‍ය ආයතන ප්‍රමාණයක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තහවුරු කිරීම නොමැති ව ප්‍රවෘත්තියක් විකාශය නොකොට සිටිනුයේ අප විසින් නිවැරදි තොරුතුරු නිවැරදි වේලාවේ ලබාදෙන බවට ඔවුන් තුළ පවතින විශ්වාසය හේතුවෙනි.

ඒ සඳහා අප භාවිත කරනු ලබන විවිධ ක්‍රමෝපායන් අතර ප්‍රවෘත්ති නිවේදන, ප්‍රවෘත්ති සාකච්ඡා හැරුණුවිට විශේෂයෙන් ම පැය 24 පුරා යාවත්කාලීන වන අපගේ ෆේස්බුක් පිටුව සහ www.news.lk වෙඩ් අඩවිය ප්‍රධාන වේ. මේ අතරින් පහසු ම සහ වැඩි ම පිරිසක් පරිශීලනය කරන ක්‍රමය වන්නේ ‘Department of Government Information’ නම් අපගේ ෆේස්බුක් පිටුව ඔස්සේ තොරතුරු ලබාගැනී ම ය. එබැවින් ඕනෑම අවස්ථාවක ඔබට අවැසි තොරතුරු ලබාගැනීම වෙනුවෙන් එම ෆේස්බුක් පිටුවට පිවිසීම වඩාත් සුදුසු ය. එය ඔබව අසත්‍ය පුවත් පසුපස හඹායෑමෙන් වළකනු ඇත.

අප සමඟ සම්බන්ධ විය හැකි සියලු ම දුරකථන අංක සහ මෙම ව්‍යසන අවස්ථාවේදී ඔබ සම්බන්ධ විය යුතු සියලු ම දුරකථන අංක ඕනෑම අයෙකුට ඉතාමත් පහසුවෙන් ලබාගත හැකි වන පරිදි එම ෆේස්බුක් පිටුව තුළ සඳහන් වේ. අප මාධ්‍යවේදීන් දැනුවත් කරනුයේ ද යම් හෙයකින් යම් ප්‍රවෘත්තියක් මාධ්‍ය ආයතනවලට ඊ මේල් හෝ වෙනත් ක්‍රමයකින් නොලැබී යන විටක අපගේ ෆේස්බුක් පිටුව පරිශීලනය කිරීමෙන් එම ප්‍රවෘත්තිය ලබාගන්නා ලෙස ය. මන්ද එම පිටුව තුළ ඕනෑම ප්‍රවෘත්තියක් නිරන්තරයෙන් යාවත්කාලීන වනු ඇත. එය ඔබට තොරතුරු ලබාගත හැකි පහසු ම ක්‍රමය යි.

කෙසේ වෙතත් පවත්නා අවදානම් තත්ත්වය යටතේ වුව ද සියලු මාධ්‍ය ආයතන සිය මාධ්‍ය මෙහෙවර වගකීම් සහගත ව ඉටුකරන්නේ නම් අසත්‍ය පුවත් ජනගත වීම ද ජනතාව එවැනි දේ පසුපස හඹායමින් පවත්නා අර්බුදය දෙගුණ තෙගුණ වීම සහ තවත් අර්බුද අලුතින් නිර්මාණය වීම ද වැළැකෙනු ඇත.

සටහන - කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න