පාසල වැහුවාට ඔන්ලයින් ඉගෙනුම | දිනමිණ

පාසල වැහුවාට ඔන්ලයින් ඉගෙනුම

මහාචාර්ය රංගික හල්වතුර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සිවිල් ඉංජිනේරු පීඨය මොරටුව විශ්වවිද්‍යාලය

කොරෝනා වෛරසය හේතුවෙන් අද වන විට ලෝකය ගමන්ගෙන ඇත්තේ අප නොසිතූ නොපැතූ තැනකට ය. ලොව පුරා රටවල ආර්ථික, සමාජීය,දේශපාලනික කටයුතු සහ සමාජ සබඳතා අකර්මණ්‍ය වී ඇති අතර අධ්‍යාපනයේ ද දැකිය හැක්කේ පැහැදිලි බිඳවැටීමකි. කෙසේ වෙතත් ලෝක මට්ටමේ අධ්‍යාපනයේ විශාල බිඳවැටීමක් සිදු ව තිබේද යන කාරණය දෙස අවදානය යොමු කිරීමට මත්තෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ උද්ගත ව ඇති තත්ත්වය සැලකිල්ලට ගැනීම වඩා සුදුසු බව හැඟේ.

සැබවින් ම ගෝලීය අර්බුද හමුවේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යා යුත්තේ කෙසේ ද? මෙරට යල්පැන ගිය අධ්‍යාපනය ක්‍රමය යාවත්කාලීන නොකරන්නේ මන්ද? යම් හෙයකින් අප මාර්ගගත අධ්‍යාපනයකට (Online Education) එළැඹෙන්නේ නම් අනුගමනය කළ යුතු පියවර කවරේද? වැනි බොහෝ කාරණා පිළිබඳ අලුතින් සිතීමට වත්මන් තත්ත්වය විසින් අපට අවස්ථාව උදාකොට ඇත.

මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ ශිෂ්‍යයන් සාර්ථකත්වය කරා යන්නේ බොහෝ විට ටියුෂන් සම්ප්‍රදායේ ප්‍රබල බලපෑමක් ද ඇති ව ය. පාසල් සහ ටියුෂන් ආයතන සියල්ල වසා දැමීම මෙරට අධ්‍යාපනය 100%ක් අකර්මණ්‍ය වීමකැයි ඇතැමෙකු සිතිය හැක්කේ එබැවිනි. එහෙත් නිවැරදිව සිතා බැලූවිට පෙනීයන්නේ මේ අකර්මණ්‍ය වීමත් සමඟ දරුවා අද වන විට නියමාකාර අධ්‍යාපනයකට යොමු ව ඇති බව ය. වසර ගණනාවකින් කිසිඳු ආකාරයක වෙනස් වීමකට බඳුන් නොවූ මෙරට යල්පැන ගිය, ගතානුගතික සහ පාරම්පරික අධ්‍යාපන ක්‍රමය එක්තරා ආකාරයකට බිඳවැටීම, මෙවන් ව්‍යසනයන් තුළ වුව දැකිය හැක්කේ කළු වලාකුළ පවතින රිදී ඉරක් සේ ය. මෙරට අධ්‍යාපන ක්‍රමය විසින් දිගින් දිගට ම නිර්මාණය කළ බහුතරය තවකෙකු මත යැපෙන, අන්ධ භක්තියකින් සහ මන්ද මානසිකත්වයකින් කටයුතු කරන චරිත විනා නිදහස්, ස්වාධීන චරිත නොවේ. නිදහස ලැබූ දා පටන් ම මෙරට ආර්ථික, සමාජ, දේශපාලන බිඳවැටීම්වලට බලපෑ මූලික ම හේතුව වූයේ අධ්‍යාපන ක්‍රමය තුළ වූ බිඳවැටීම යි කීමේ ද වරදක් නැත.

මෙරට පවතින අධ්‍යාපන ක්‍රමයට අනුව ගුරුවරයා ඉගෙනගත් යමක් ඇත. ජාතික අධ්‍යාපන ආයතනයෙන් පොතක් ලබාදී ඇති අතර ඒ පොතෙහි ඇති දේ උගන්වන ආකාරය ඉගනගැනීමට ගුරවරයාට ගුරුඅත් පොතක් ලබාදී ඇත. ගුරුඅත්පොතට අනුව ගරුවරයා උගන්වන දේ අසා සිටින දරුවා අවුරුද්දක් මුළුල්ලේ සොයාගන්නා උත්තර සමූහයකි. වසර අවසානයේ විභාග ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමේදී ඔහු එම පිළිතුරුවලට ගැලපෙන ප්‍රශ්න සොයාගැනීමට උත්සුක වේ. මේ ක්‍රමය තුළ කිසි විටකත් දරුවාට තම රාමුවෙන් පිටතට ගොස් සිතීමේ මානසිකත්වයක් ඇති නොකර යි.

එහෙත් මේ වන විට රට තුළ පාසල් සහ ටියුෂන් කඩ වසාදමා තිබීම හේතුවෙන්, පාසලටත් ටියුෂන් පංතියටත් සීමා ව, මානසික ව සිරගත වී සිටි දරුවා නිදහස් නිවහල් සමාජයක ජීවත් වේ. ගුරුවරයා විසින් දැනුම අඹරා පෙවීමට උත්සුක වන සංකල්පවලින් මඳකට ඈත්මෑත් ව ස්වෝත්සාහයෙන් සහ වුවමනාවෙන් ලෝකයේ ඇති නියම දැනුම සොයාගෙන යා හැකි තැනට අද වන විට දරුවා නැවත පත් ව සිටීම සැබැවින් ම සතුටට කරුණකි. මේ වන විට සමාජය, මාපියන් සහ සොබාදහම සමඟ ගැටෙන දරුවා දැනුමට එහා ගිය බුද්ධියක් ලැබිය හැකි තත්ත්වයකට ද පැමිණ ඇත.

විෂය මූලික අධ්‍යාපන ක්‍රමය යනු යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමයක් වන අතර ඉන් ඔබ්බට ගිය ලෝකය Problem Posing Education නම් අධ්‍යාපන ක්‍රමවේදයට එළැඹ ඇත. ලබාදෙන පැනයකට පිළිතුරු සෙවීම තුළින් අධ්‍යාපනය ලැබීමේ මෙම ක්‍රමවේදය ලොවපුරා බොහෝ දියුණු රටවල පාසල් සහ උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රකට ය. එම අධ්‍යාපන ක්‍රමය තුළ දරුවා රාමුගත නොවන අතර අවශ්‍ය දැනුම සොයා යෑමට මෙන්ම අවශ්‍ය ඉගෙනුම් ඵල ඔස්සේ යමින් ජීවිතය ගොඩනඟාගැනීමට අවශ්‍ය නිදහස ද ලැබීම විශේෂත්වයකි. ‘Problem Posing Education’ ක්‍රමවේදය ද පසු කරමින් අද වන විට ලෝකය, දරුවන් ප්‍රශ්න කරමින් ඉගෙන ගන්නා ‘Inquiry Based Education’ වෙත ද ක්‍රමක්‍රමයෙන් යොමු වෙමින් පවතින බව කිව යුතු ය. ලෝකය අධ්‍යාපනය අතින් අද පවතින්නේ එවැනි තැනක වුව ද අප ගමන් ගන්නේ බොහෝ පසුපසිනි.

මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ පාසල් දරුවන්ට ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ ආදී වශයෙන් ප්‍රධාන විභාග කිහිපයකි. මේ සෑම විභාගයකදී ම පාහේ සිදු කෙරෙන්නේ රටපුරා සිටින විවිධ හැකියාවන්ගෙන් යුත් දරුවන් එක ම මිනුම් දණ්ඩකින් මැන බැලීමකි. එසේ වුව ද චිත්‍ර විෂයෙහි අතිශය දස්කම් දක්වන දරුවකුට සමීකරණයක් විසඳීමට දී ඔහු අසමත් බව තීරණය කිරීමත් ගණිතය විෂයෙහි අතිශය දස්කම් දක්වන දරුවකුට චිත්‍රයක් ඇඳීමට දී ඔහු අසමත් බව තීරණය කිරීමත් කෙතරම් දුරට සාධාරණ ද? සැබවින් ම මේ දෙදෙනා එක ම මිනුම් දණ්ඩකින් මැනීම ම අපරාධයකි. මේ වැරදි මිනුම්දඩු තුළ ජයගන්නේ ඉතාමත් ම සීමිත දරුවන් ප්‍රමාණයක් වන අතර ඉතිරි සියල්ලන් පරාජිතයන් බවට පත් වේ. ඉන් පසුව ඔවුන් ජීවත් වනුයේ පරාජිත මානසිකත්වයකිනි. පවතින වැරැදි අධ්‍යාපන ක්‍රමය පැහැදිලි වෙනසකට ලක්කිරීමට තවත් හේතු වුවමනා වේද?

ආකල්පමය සංවර්ධනය සහ හික්මීම තුළ අවශ්‍ය කරන දැනුම සොයා යා හැකි ක්‍රමවේදවලට අනුගත වීමට ලෝකයේ බොහෝ රටවල් උත්සුක වන අතර සංවර්ධිත රටවල් හැමවිට මුල්තැන දෙනුයේ උගත්කමට එහා යමින් බුද්ධියට මුල්තැන දෙන අධ්‍යාපන ක්‍රමවේදයන්ට ය. එහිදී බොහෝවිට ‘Online Education’ කැපී පෙනේ.

යුනෙස්කෝ සංවිධානය පවසා ඇත්තේ ලෝකයේ අද උදා වී තත්ත්වයත් සමඟ රටරටවල දරුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ම හැකි උපරිමයෙන් Online Education වෙත යොමු කරවන ලෙස ය. එසේ ම මෙරට රජය ද පවතින වාතාවරණය යටතේ විශ්වවිද්‍යාල සහ පාසල් ශිෂ්‍යයින් Online Education වෙත යොමු කිරීම වටිනා බව අවධාරණය කර තිබීම විශේෂත්වයකි. නමුත් එකවරම Online Education ක්‍රමවේදයක් සංවර්ධනය කරන්නෙ කෙසේද? යන පැනය ඇතැමකු විසින් නැඟිය හැකි ය. අද වන විට සෑම නිවසක ම පාහේ ස්මාර්ට් දුරකථනයක් ඇති අතර අන්තර්ජාල සබඳතාවක් ද ඇත. ලොව පුරා දැනුම ඇඟිලි තුඩු මතට පැමිණ ඇත්තේ නිතැනින් ම ය. ඒ දැනුම පසුපස නිවැරදි ව හඹා යා යුතු ආකාරය දරුවන්ට කියා දිය හැකි නම් ඔවුන්ගේ ගමන අතිශය සාර්ථක එකක් වනු නොඅනුමාන ය.

80%ක පැමිණීම නැතහොත් විෂය සමත් වීමට ඉඩ නොදෙන බවට දේශකයා සිදු කරන තර්ජනය හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාලයක දේශන ශාලාවක් තුළ අකමැත්තෙන් රැඳී සිටින ශිෂ්‍යයකු බොහෝ විට කිසිවක් ධාරණය කර නොගැනීමට ඉඩ ඇති අතර වුවමනාවෙන් දේශනයට සවන් දෙන ශිෂ්‍යයන්ට ද බාධාවක් විය හැකි ය. එබැවින් ඔහු ඒ වෙනුවට එම විෂයට ම අදාළ ව පිටරටක දේශකයකු විසින් සිදු කරන දේශනයක් නිවෙසට වී නිදහසේ යූ ටියුබ් ඔස්සේ නැරඹීම ඇතැම්විට වඩා ඵලදායී විය හැකි ය.

කෙසේ වෙතත් අප මේ අවස්ථාවේ සිදු කළ යුත්තේ Online Education හරහා අප විසින් නවතම දේ නිර්මාණය කරමින් පාඨමාලා සංවර්ධනය කිරීම ම නොවේ. ලොව පුරා පවතින දැනුම එක් කරමින් අපට අවශ්‍ය පරිදි පාඨමාලා සංවර්ධනය කරගැනීම ය. Online Educationවලදී ලෝකය ගමන් ගන්නේ එතැනට ය. දැනුම ගෝලීය ව පැතිරවීමේ නවතම ක්‍රමවේදයක් ලෙස ‘Massive Open Online Courses’ (MOOC ) හඳුනාගත හැකි ය. මේ තුළ අද වන විට ලෝකයේ අනන්ත අප්‍රමාණ ව පාඨමාලා නිර්මාණය වී ඇති අතර කැමැති අයෙකුට කැමැති පරිදි කැමැති පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව ද උදාකොට ඇත. උදාහරණයක්‍ ලෙස යමෙකු බ්‍රිතාන්‍ය මූර්ති කලාව පිළිබඳ හැදෑරීමට කැමැත්තක් දක්වයි නම් ඒ සඳහා ම නිර්මාණය වූ Massive Open Online Courses කොතෙකුත් ඇත. ඒ අතුරින් තමන් අපේක්ෂා කරන ඉගෙනුම් ඵල අන්තර්ගත වන පාඨමාලාව තෝරාගෙන හැදෑරිය හැකි අතර එය කුමන රටක කුමන විශ්වවිද්‍යාලයක පාඨමාලාවක් ද යන කාරණාව කිසිසේත් ම අදාළ නොවේ.

එහෙත් අවාසනාවකට ලංකාව තවමත් Online Educationවලට අනුගත වන බව කියමින් උත්සුක වන්නේ ද අපට ම කියා අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම සහ අලුත් පාඨමාලා සංවර්ධනය කිරීම ය. එම අදහස සමාජ ගත වීම නොවැළැක්වුව හොත් අප විසින් මේ ලැබී ඇති අවස්ථාව ද විනාස කරගනු ඇත.

යුරෝපා සංගමය ( European Union) විසින් Online පාඨමාලා නිර්මාණය කරගැනීමට බොහෝ රටවලට පහසුකම් සැපයීමට ඉදිරිපත් වී ඇති අතර එමඟින් ලැබුණු සහයෝගය මත ලෝකයේ රටවල් 06ක්, මොරටුව විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය සහ රුහුණු විශ්වවිද්‍යාලය ඇතුළුව ලෝකයේ විශ්වවිද්‍යාල 14ක් එක් ව දේශගුණික වෙනස්වීම් පිළිබඳ Online පාඨමාලාවක් නිර්මාණය කරමින් සිටීම විශේෂත්වයකි. ( http://beck-erasmus.com/index.php/meetings ) මෙවැනි Online පාඨමාලා හැදෑරීමේදී නියමිත වේලාවක්, නිලඇඳුමක්, පංති කාමරයක් වැනි සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රම තුළ වන බොහෝ දෙයින් පරිබාහිර ව දරුවන්ට තමන්ගේ ම කාලසටහනකට අනුව නිදහසේ දැනුම සොයාගෙන යෑමේත් බුද්ධිය වර්ධනය කරගැනීමේත් අවකාශය උදාවනු ඇත. අලුතින් සිතීමට, අලුත් යමක් නිර්මාණය කිරීමට ඇති වන පෙළඹවීම මත මෙරට විශාල සමාජ, ආර්ථික, දේශපාලන විප්ලවයක් කරා ගෙන යා හැකි ය.

අධ්‍යාපනයේදී සියල්ලන්ට සමාන ව සැලකිය යුතු නමුත් මෙරට ග්‍රාමීය, නාගරික සහ අර්ධ නාගරික සියලු පාසල්වල එක ම ආකාරයකට පහසුකම් සැපයීමක් සිදු නොවේ. එහෙත් මේ සියලු දරුවන්ට අදාළ වන ආකාරයේ Online පාඨමාලාවක් නිර්මාණය කළ හැකි නම් කොහේ සිට හෝ ඔවුන් සියලු දෙනා ලබාගන්නේ එක ම අන්තර්ගතය වන බැවින් සමානාත්මතාවය ද රැකගත හැකි ය.

මෙරට රජයේ විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය ලැබීමේ වරම සීමිත පිරිසකට හිමිවන්නේ අප සතුව පවතින සීමිත සම්පත් හේතුවෙනි. එහෙත් MOOC නිර්මාණය කිරීම තුළින් වැඩි දෙනකුට උසස් අධ්‍යාපන අවස්ථා හිමිකර දිය හැකි ය. එසේ ම කලාව හැදෑරීමට කැමැත්තක් දක්වන ශිෂ්‍යයකු නිවැසියන්ගේ බලපෑම මත ඉංජිනේරු විද්‍යාව හදාරන්නේ නම් මෙම MOOC හරහා ඔහුට කලාව සම්බන්ධයෙන් ලබාගත යුතු දැනුම මෙන් ම තමන් රිසි ඕනෑම විෂය පතයක් තුළ දැනුම සොයා යෑමේ අවස්ථාව ද උදාවේ. එසේ ම MOOC ඔස්සේ රටරටවල දැනුම හුවමාරු කරගැනීමට ද දරුවන් තුළ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ හැකියාව වර්ධනය කිරීමට ද ඉඩකඩ විවර වේ.

රිසි පරිදි තම උසස් අධ්‍යාපනය සකසා ගැනීමේ හැකියාව මෙන් ම MOOC හරහා දරුවන්ට බුද්ධිය වර්ධනය කරගැනීමට ද ලැබෙනුයේ සුවිශාල ඉඩකි. එසේ ම මෙය කිසිවිටකත් සංකීර්ණ ක්‍රියාදාමයක් නොවුණ ද අප තවමත් එවැන්නකට යොමු නොවන්නේ අප තුළ වන ආකල්පමය ගැටලුවක් හේතුවෙනි. සැබවින් ම අප තවමත් Online Education සඳහා සූදානම් නැත. ඒ සඳහා විශාලතම බාධාව වී ඇත්තේ අලුත් යමක් කිරීමට අප තුළ ඇති පැකිලීම ය.

විවිධ ප්‍රශස්ත අධ්‍යාපන ක්‍රමවේදයන් ලෝකය විසින් නිර්මාණයකොට තිබෙන අතර අප ද මුල සිට ම අධ්‍යාපන ක්‍රමවේද නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනඟිනු ඇත.සිදු කළ යුත්තේ මෙතෙක් කල් සංවර්ධනය වෙමින් පැවති අධ්‍යාපන ක්‍රමවේදයක් අපට ගැලපෙන පරිදි සුළු සුළු වෙනස්කම්වලට ලක්කොට ගැනීම පමණි. එසේ වුව ද යම් විෂයකට අදාළව අලුතින් ම Online පාඨමාලාවක් නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාව ඇති පිරිස් වෙත දායකත්වය සහ සහයෝගය ලබාදීමට සූදානම් කණ්ඩායම් ද සිටින බව විශේෂයෙන් සඳහන් කළ යුතු ම ය. යුරෝපා සංගමයෙන්( European Union) ද එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වන අතර ‘Erasmus + ‘(https://eacea.ec.europa.eu/erasmus-plus_en) ඒ අතරින් ප්‍රමුඛස්ථානයක් ගනී. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට Online පාඨමාලා නිර්මාණය කිරීම වෙනුවෙන් අරමුදල් සහ පහසුකම් සැපයීමට ඔවුන් සැදීපැහැදී සිටී. සැබෑ අවශ්‍යතාවක් ඇත්නම්, ඒ ලැබෙන සහයෝගය මත ඉතාමත් කෙටි කලකදී ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන Online පාඨමාලා නිර්මාණය කරගැනීමට අපට හැකියාව උදා වනු ඇත. කෙසේ වෙතත් මෙහිදී අප පළමු ව වටහා ගත යුත්තේ දියට නොබැස පිහිනීමට ඉගෙන ගැනීම කළ නොහැක්කක් බව ය.

Online පාඨමාලා හැදෑරීම සඳහා දරුවන් තුළ පෙළඹවීමක් ඇති කිරීම පාසල් සහ විශ්වවිද්‍යාල මට්ටමින් සිදු කළ යුත්තකි. මේ අවස්ථාවේ ඒ සඳහා යම්කිසි ආකාරයකින් දේශපාලන නායකත්වයක් ද ලැබී තිබීම පිළිඹිබු වන්නේ රජය විසින් Online පාඨමාලා වැඩිදියුණු කිරීමටත් දරුවන් ඒ සඳහා යොමු කරවීමටත් දැනුම් දීමත් සමඟ ය. මෙහිදී Online Education නිවැරදි තැනින් අල්ලා ගැනීමට දරුවාට මාර්ගය සකසා දිය යුතු ය.

ඉන් පසුව මතුවන ගැටලුව වන්නේ Online Education ක්‍රමවේදයකට අනුගත වූ විට ගුරුවරයාගේ කාර්යභාරය කුමක්ද? යන්න යි. සැබවින් ම දරුවකුට විෂය නිර්දේශයේ අන්තර්ගතය කටපාඩම් කරවීමෙන් ඔබ්බට බුද්ධි වර්ධනය, ආකල්ප වර්ධනය සහ සමාජ වගකීම හඳුන්වා දීමත් දරුවා නිවැරදි ව සමාජානුයෝජනය කිරීමත් වෙනුවෙන් ගුරුවරයෙකුට කළ හැකි දේ බොහෝ ය.

Online Education ක්‍රමවේදයක් තුළ ගුරුවරයා සාම්ප්‍රදායික මට්ටමෙන් ගලවාගෙන සිය නිවැරදි රාජකාරිය වෙනුවෙන් පුරුදු පුහුණු කිරීම අධ්‍යාපන අමාත්‍යංශය සතු වගකීමකි. එසේ ම මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද බොහෝ විට සිදු කරනුයේ ගුරුවරයාගේ කාර්යභාරය යි. සැබවින් ම පාසල් ගුරුවරයා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරයා යනු භූමිකා දෙකක් බව පළමු ව වටහා ගත යුතු ය. පොතකින් සටහනක් සකසාගෙන ගොස් දරුවාට ඉගැන්වීමෙන් ඔබ්බට ගිය රාජකාරියක් විශ්වවිද්‍යාල ආචාර්යවරයාගෙන් සිදු විය යුතු ම ය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට සමාජය පිළිබඳ දැනුමක් ලබාදීම ද අමතර දැනුම සොයා යෑමට පෙළඹ වීම ද ඔහුගේ රාජකාරියේ ම කොටසකි. කෙසේ වෙතත් දරුවන් Online Education ක්‍රමවේදයකට හුරුකිරීම තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ කාර්යභාරය අවසන් නොවන අතර ඔහු දරුවන් අතර බෙදා දීම සඳහා නව දැනුම සොයා යා යුතු ය. පර්යේෂණ සහ නව නිපැයුම් කළ යුතු ය. Online Education ක්‍රමවේදයක් තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මේ සියල්ල සඳහා අවශ්‍ය කරන ඉඩප්‍රස්ථාව ලැබෙනු ඇත. පාසල් ගුරුවරුන්ට ද දරුවන්ගේ මානව ගුණදම් හා ආකල්ප සංවර්ධනය කරමින් රටට ලෝකයට වැඩදායී පුද්ගලයන් නිර්මාණය කිරීමේ හැකියාව උදාවනු ඇත. මෙයාකාරයෙන් බලන කල Online Education ක්‍රමවේදය නිවැරදි තැනින් අල්ලා ගතහොත් මෙරට අධ්‍යාපන ක්‍රමයේ සිදු වන විපර්යාසයත් සමඟ විශාල ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ දේශපාලන සංවර්ධනයක් අත්කර ගැනීමට අපට අවස්ථාව උදා වනු නොඅනුමාන ය.

 

සටහන - කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න