අපනයන නැවත ඇරැඹීමට අපනයන සංවර්ධන මණ්ඩලය සූදානම් | දිනමිණ

අපනයන නැවත ඇරැඹීමට අපනයන සංවර්ධන මණ්ඩලය සූදානම්

අවදානම් කලාපවලින් පිටත කර්මාන්තශාලාවලට අවසර

සහාය දෙන්න දුරකතන අංකයක්

සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලවීම අනිවාර්යයි

ශ්‍රී ලාංකික අපනයනකරුවන්ද පසුගිය මාස දෙකක සිට අභියෝගාත්මක කාලයකට මුහුණ දී සිටී. අන් කවරදාකටත් වඩා දැන් අපගේ අපනයන ව්‍යාපාරයන් උත්සාහවන්තව හා ශක්තිමත්ව පවත්වා ගෙන යෑමට කාලය පැමිණ ඇති බවට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අවධාරණය කර සිටී. ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් අපට, මෙවැනි ව්‍යසනයන් අමුතු අත්දැකීම් නොවේ. එලෙසම මේ ව්‍යසනයටද අප ශක්තිමත්ව මුහුණ දෙන බවට ඉතා විශ්වාසය. අප අතීතයේ දී කළාක් මෙන්, ශ්‍රී ලංකාව වෙන කවරදාටත් වඩා ශක්තිමත්ව නැඟී සිටිමින් අපගේ ප්‍රධාන ඉලක්කය වන අපනයනයන් නැවත ආරම්භ කිරීම, ඒවා පෙර මට්ටමට යථා තත්ත්වයට පත් කිරීම සහ ඒවා වැඩි දියුණු කිරීමේ ශක්තිය අප සතුය.

දැන් තවත් එවැනිම අභියෝගයක් අප ඉදිරියේ තිබේ. අපගේ ශක්තිය හා ඔරොත්තු දීමේ හැකියාව රටක් ලෙස පෙන්විය යුතු කාලය මෙයයි. අපගේ ව්‍යාපාරයන්ට, අපේ ජනතාවට සහ අපේ ජාතියට කළ නොහැක්කක් නොමැති බව අප ලෝකයට පෙන්විය යුතුය. දිවයිනේ COVID-19 වෛරසය තුරන් කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය හා ආරක්ෂක පියවරයන් රජය විසින් ඉතා මැනවින් අනුගමනය කිරීමේ ප්‍රතිඵයක් ලෙස මේ අර්බුදය අපේ රට නුදුරේදීම ජය ගනු ඇත. කෙසේ වෙතත්, අප ද අපගේ කාර්යභාරය ඉටු කළ යුතුව ඇත. අපේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගෙන යෑම සඳහා විදේශ විනිමය ඉපැයීම් උත්පාදනය කිරීම රටක් වශයෙන් අත්‍යවශ්‍ය බව රජය සඳහන් කරයි. එම නිසා සියලු අපනයනකරුවන් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු මෙහෙයුම් ආරම්භ කිරීම අතිශයින්ම වැදගත්ය. අවදානම් කලාපයෙන් පිටත ක්‍රියාත්මක කර්මාන්තශාලා වෙත ඒ සඳහා අවසර ලැබෙනු ඇත. මේ සියලුම කර්තව්‍යයන් සාර්ථකත්වයට පත් කර ගැනීමට ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකට එකතු වී අප අපගේ වගකීම ඉටු කළ යුතුව ඇත.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අවධාරණය කරන්නේ තවත් ටික කාලයකින් සමස්ත ලෝකයම මේ උවදුර ජයගනිමින් යථා තත්ත්වයට පත්වන බවයි. ඒ් අනුව මේ රටට අවැසි සමයේ ව්‍යාපාර නැවත ආරම්භ කරන සියලු ශ්‍රී ලංකික අපනයනකරුවන්ගේ සහයෝගයෙන් රටක් ලෙස අපටද මේ ලෝක අර්බුධය ජයගත හැකිවනු ඇත. අප සැම එකට එක වී ලෝකය ඉදිරියට ගොස් නව වෙළෙඳපොළ, නව පාරිභෝගිකයන් සොයා ගනිමින් සහ පැවති සම්බන්ධතා නැවත ශක්තිමත් කරගනිමින් ඔවුනට තත්ත්වයෙන් උසස් අපනයනයන් සැපයීමට කාලය පැමිණ ඇත.

සියලු අපනයන කර්මාන්ත තම නිෂ්පාදන ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සේවක සනීපාරක්ෂක රෙගුලාසිවලට අනුකූලවීම අනිවාර්ය වන අතර ව්‍යාපාර ආරම්භ කිරීමට පෙර සියලු කර්මාන්තශාලා අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කරනු ඇත.

සියලුම අපනයනකරුවන් සඳහා සහාය දැක්වීමට අපනයන සංවර්ධන මණ්ඩලය සූදානමින් සිටින අතර ඒ සඳහා දුරකථන අංකයක් ක්‍රියාත්මක වේ. අතීතයේදී අපේ රට මෙවැනි අර්බුදකාරී අවස්ථාවන් වලදී එකමුතුව නැඟී සිට සමඟියේ ශක්තිය පෙන්වූවාක් මෙන් මෙවරද ශ්‍රී ලාංකිකයන් යළිත් වරක් එකතු වී නැඟී සිටිනු ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ උපදෙස් ලබාදීම සඳහා පහත නිලධාරීන් සූදානමින් සිටී.

එම්. කේ. එස්. කේ. මල්දේනි මහතා / වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් - 077 7601592

චිත්‍රංජලී දිසානායක මෙනෙවිය / වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් - 071 8071163

මාලනි බද්දේගම මහත්මිය / අධ්‍යක්ෂ - අපනයන කෘෂිකර්ම - 071 9500885

EDB උපකාරක කවුළුව

එස්. ආර්. පී. ඉන්ද්‍රකීර්ති මහතා / අධ්‍යක්ෂ (වෙළෙඳ පහසුකම් හා වෙළෙඳ තොරතුරු) - 071 440 6119

නිර්මලා ගජනායක මෙනෙවිය / අපනයන ප්‍රවර්ධන නිලධාරී - 071 822 0953

ප්‍රියදර්ශනී හේවාවසම් මහත්මිය / අපනයන ප්‍රවර්ධන නිලධාරී - 077 249 4807

නව අදහස දක්වන්න