වැඩ කරන ජනතාවගේ දිනය අදයි | දිනමිණ

වැඩ කරන ජනතාවගේ දිනය අදයි

අනුර ප්‍රේමලාල්

*134 වැනි මෙවර සැමරුමට සැමරුම් උත්සව පෙළපාළි නෑ
*සෞඛ්‍ය උපදෙස් මත සැමරුම් නැවතූ බව කම්කරු නායකයෝ කියති
*මෙවර සැමරුමදාත් කම්කරුවන් රැකියා සුරක්ෂිතතාවයේ අර්බුදයක

ලෝකවාසී කම්කරු ජනතාව තවත් අභිමානවත් කම්කරු දිනයක් අද (01) සමරති.මෙවර එකසිය තිස් හතර වැනි කම්කරු දිනය සමරන වැඩ කරන ජනතාව කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හමුවේ රැකියා සුරක්ෂිතභාවය, ශ්‍රමයට සරිලන වැටුපක් ලබා ගැනීම ඇතුළු අභියෝග රැසකට මුහුණ දී සිටිති.

වසර 1886 දී අමෙරිකාවේ චිකාගෝ නගරයේ කම්කරු විරෝධතාවකට ප්‍රහාරයක් එල්ල කර මර්දනය කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් වසරක් පාසා මැයි මස පළමුවැනිදා කම්කරු දිනය සමරයි. වසර 1933 සිට මෙරට ශ්‍රී ලාංකික වැඩකරන ජනතාව ද කම්කරු දිනය සැමරීමට එක් වී සිටින අතර වර්තමානයයේ රටේ ඇතිවී තිබෙන ගෝලීය වසංගත තත්ත්වය හේතුකොට ගෙන සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව මෙවර මැයි දින සැමරුම් පැවැත්වීම සිදු නොවන වෘත්තීය සමිති නායකයෝ පවසති.

එමෙන්ම මෙරටේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවයේ තදබල ගැටලුවකට ද ඔවුන් මුහුණ දී සිටිති. එක් පැත්තකින් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගතයෙන් බේරීමට රජය ලබා දෙන සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිසි ලෙස කටයුතු කිරීමටත් අනෙක් පැත්තෙන් සිය ආදායම කප්පාදු වීම පිළිබඳ අභියෝගයන්ට මුහුණ දීමටත් මෙවර මැයි දිනයේ දී සුවහසක් වූ කම්කරු පන්තියට සිදු වී තිබේ.

නව අදහස දක්වන්න