ගෙවුණු දින හතේ ආසාදිතයන් 338න් 264ක් නාවික සෙබළු | දිනමිණ

ගෙවුණු දින හතේ ආසාදිතයන් 338න් 264ක් නාවික සෙබළු

නුවන් කොඩිකාර

යුද හමුදාපති

කොරෝනා ආසාදිතයන් 30 දෙනකු පෙරේදා (29) දිනයේ දී පමණක් වාර්තා වුණ බවත් ඉන් ආසාදිතයන් 22ක් නාවික හමුදා සෙබළුන් වන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව නාවික සෙබළුන් 20ක් වැලිසර නාවික හමුදා මූලස්ථානයෙන් වාර්තා වූ අතර තවත් සෙබළුන් දෙදෙනෙක් නිවාඩු ගොස් සිටි අය වන බවද ඒ මහතා කීවේය. කෙසේ වෙතත් පෙරේදා වාර්තා වූ අනෙක් පුද්ගලයා ගුවන් හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙක් බවද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

සෙසු පුද්ගලයින් හත් දෙනා බදුල්ල, හෝකන්දර, කන්තලේ, තලාතුඔය හා මොරන්තුඩුව යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් ඔවුන් නාවික සෙබළුන්ගේ ඥාතීන් වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. එයින් එක් අයෙක් විශ්‍රාම යෑමට නියමිත යුද හමුදා නිලධාරියෙක් බවත් ඔහු නාවික සෙබළෙක්ගේ ඥාතියෙක් වන බවත් හෙතෙම පැවසීය.

මෙරටින් පෙරේදා දිනය වන විට කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ පුද්ගලයන් 649 දෙනෙක් වාර්තා වී ඇත. එලෙස වාර්තා වූ රෝගීන්ගෙන් 338 දෙනෙක් වාර්තා වී ඇත්තේ පසුගිය දින 07 තුළදියි. එලෙස වාර්තා වූ රෝගීන් 338 දෙනාගෙන් 264 දෙනෙක් නාවික හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ සමිපතයන් බව ද වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වර්තා කළේය.

 

නව අදහස දක්වන්න