රජයේ අනුමත අරක්කු බෝතල් 60ක් සමඟ දෙදෙනෙක් දැලේ | දිනමිණ

රජයේ අනුමත අරක්කු බෝතල් 60ක් සමඟ දෙදෙනෙක් දැලේ

නිමල් රාජපක්ෂ

ආරක්ෂක නිලධාරියකුත් ඒ අතර

ආරක්ෂක අංශයට අයත් නිලධාරියකු හා තවත් අයකු ඇඹිළිපිටිය තුංගම ප්‍රදේශයේ දී මත්පැන් ජාවාරමේ නිරතවී සිටියදී රුපියල් දෙලක්ෂ පනස්දහසක් වටිනා මත්පැත් තොගයක් සමඟින් පෙරේදා (30) කොළඔ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ රජයේ අනුමත අරක්කු බෝතල් 60ක් තිබූ බව කොළඔ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී. එන්. හේමන්ත මහතා පවසයි.

සුරාබදු නිලධාරීන් හට ලද ඔත්තුවකට අනුව සුරාබදු නිලධාරියකු උපාය දූතයකු ලෙස ගොස් මත්පැන් මිලදී ගන්නා අවස්ථාවේ මේ මත්පැන් තොගය සමඟින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු ආරක්ෂක අංශයේ සේවය කරන අයකු බවද සුරාබදු නිලධාරීන් පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉදිරියේ දී ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් ඒ. බෝදරගම මහතාගේ උපදෙස් මත, අතිරේක සුරාබදු කොමසාරිස් වසන්ත දිසානායක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ, සුරාබදු අධිකාරි චන්න වීරක්කොඩි යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, කොළඔ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී. එන්. හේමන්ත, සුරාබදු පරීක්ෂකවරුන් වන අමිල, මාන්න උතුම්, සුරාබදු නියාමකවරුන් වන සුජීව, ජයන්ත, සුදත්, රියැදුරු අසංක යන නිලධාරීහු මේ වැටලීම සිදු කළහ.

නව අදහස දක්වන්න