පන්දු සියයයේ තරගාවලියත් කල් යයි | දිනමිණ

පන්දු සියයයේ තරගාවලියත් කල් යයි

නිරෝෂාන් ප්‍රියංකර

මේ වසරේ එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ පිරිමි සහ කාන්තා කණ්ඩායම් 8 බැගින් සහභාගීවන පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය කොරෝනා වෛරසය හේතුවෙන් වසරකින් කල් දමා තිබේ.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය මේ තරගාවලිය සංවිධාන කරන අතර ජූලි 1 වැනිදා තෙක් එරට එරට කිසිදු තරගාවලියක් නොපැවැත්වීමට ඔවුහු තීරණය කළහ. කෙසේ වෙතත් තරග ආරම්භ වීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට ප්‍රමුඛත්වය දීමට තීරණය වී තිබේ. එම නව කාලසටහන යටතේ ප්‍රාන්ත පළමු පෙළ තරගාවලිය, ප්‍රාන්ත එකදින තරගාවලිය පැවැත්වෙන අතර නැට්වෙස්ට් බ්ලාස්ට් විස්සයි 20 තරගාවලිය ප්‍රමාදකර තරගවාරයේ අවසාන භාගයේ පැවැත්වීමට කටයුතු කර තිබේ. අත්හැරුණු සියලුම තරගාවලි පැවැත්වීමෙන් අනතුරුව පන්දු සියය තරගාවලිය වෙනමම කාලසීමාවක් වෙන් කිරීමෙන් පැවැත්වීමටද අදහස් කර තිබිණි. ඒ අනුව ලබන වසරේ එය පැවැත්වීමට තීරණය කර තිබේ.

මේ තරගාවලිය කල්දැමීමෙන් වසර 2ක් පුරා සූදානම් වූ සියලුම දේ අපතේ ගියත්, ලබන වසරේ මේ තරගාවලිය සංවිධාන කළ අයුරින්ම පැවැත්වෙන බව එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටොම් හැරිසන් මහතා පවසයි. එහෙත් තරගාවලිය සම්බන්ධ තවත් ගැටලු රාශියක් තවමත් විසඳි නැත. ඉන් ප්‍රධානතම ගැටලුව නම් මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියට සම්බන්ධ වූ ක්‍රීඩකයන්ගේ වැටුප් හා ලබන වසරේ කණ්ඩායම්වල ක්‍රීඩක සංචිත බෙදී යන ආකාරයයි. මේ පිළිබඳ සාකච්ඡා තවමත් පැවැත්වෙන බව කී හැරිසන් මහතා 'මේ තරගාවලිය සැලසුම් කර පරිදිම පවත්වන්නයි අපේ අදහස. අපිට වගකීමක් තිබෙනවා තරගාවලිය මේ වසරේ පැවැත්වීමට තිබූ අයුරින්ම පැවැත්වීමට. ක්‍රීඩක වෙන්දේසියෙන් මිල දී ගත් ක්‍රීඩකයන් සමඟ අපි ඉදිරියේ දී සාකච්ඡා කරනවා.' යැයිද පැවසීය.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය මේ තරගාවලිය කල්දැමීමට හේතු වූ කරුණු තුනක් පෙන්වා දෙයි. එනම් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගැනීම,  සංචාරය කිරීමට නොහැකි වීම ප්‍රේක්ෂකයන් නොමැතිව ක්‍රීඩා කරන්නට සිදුවීම හා ක්‍රීඩාංගණවල සේවකයන් පිළිබඳ ඇති ගැටලු ඇතිවීමයි.

 

නව අදහස දක්වන්න