ගිනිගත් පාස්කුවක වෙදනාබර මතක | දිනමිණ

ගිනිගත් පාස්කුවක වෙදනාබර මතක

පාස්කු ඉරිදා ප‍‍්‍රහාරයට මේ වසරේ අපේ‍්‍රල් 21 වැනිදාට වසරකි. දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක පිපිරුණු බෝම්බ හඬ යළිත් මතක් කිරීමටවත් අප කැමති නැත. එවැනි පිපිරීමක් රට තුළ නැවත ඇති වනු දැකීමටත් අප කැමති නැත. එදා පාස්කු ප‍‍්‍රහාරයට ලක් වී මිය ගිය අපේම ජනතාවගේ ඥාතීන් අද පසුවන්නේ සිතින් දහස් වාරයක් මැරි මැරී උපදිමිනි. ඒ ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්, භාර්යාවන්, දුව, පුතා, සහෝදර, සහෝදරියන් අහිමිවීමේ ශෝකයෙනි.

විපතට පත් අපේම සහෝදර පිරිසක් සොයා කටුවපිටිය ප‍‍්‍රදේශයට ගියේ ඒ අයගේ දුක-සැප බෙදාගැනීමේ අරමුණිනි. ඔවුන්ගේ සිත් වචනයකින් හෝ සනසාලීමේ බලාපොරොත්තුවෙනි.

කටුවපිටිය දේවස්ථානයට එල්ල කළ, මරාගෙන මැරෙන බෝම්බකරු කටුවපිටිය ප‍‍්‍රදේශයේ 150ට ආසන්න සංඛ්‍යාවකගේ ජිවිත අහිමිකර 200කට ආසන්න පිරිසක් ආබාධිතයන් බවට පත් කරමිනි. අද ඔවුන් පසුවන්නේ අතිශය අසරණ තත්ත්වයකය.

මේ, පාස්කු ප‍්‍රහාරයෙන් තම ස්වාමියා අහිමි වූ සෙල්ලකන්ද ක්‍ටුවපිටිය ප‍්‍රදේශයේ පදිංචි ඈන් කොන්ස්ටන් මහත්මිය තම මතකය ආවර්ජනය කළ අන්දමයි.

”‍ගිය අවුරුද්දේ අපේ‍්‍රල් 20 රාත‍්‍රියේ තියෙන දේව මෙහෙයට යන්න අපි ඔක්කොම ලෑස්තිවෙලා හිටියේ. මම මහත්තයට යන්න කතා කළාම එයා කිව්වා අද එයාගෙ ඇඟට ටිකක් අමාරුයි අපිට ? දේව මෙහෙයට යන්න එයා උදේ දේව මෙහෙයට යන්නම් කියලා. එදා වෙනකන්ම තිබ්බ හැම දේව මෙහෙයකටම අපි ඔක්කොම ගියේ එකට. ඒත් මහත්තයාගෙ ඇඟට අමාරුයි කියපු නිසා මමයි, දුවයි, බෑණයි තුන්දෙනා විතරක් ? දේව මෙහෙයට ගියා.

පහුවදා උදේ මහත්තයා මොටර් සයිකලේ නැඟලා දේව මෙහෙයට ගියා. උදේ 8.45 වගේ වෙනකොට අපිට ආරංචි වුණා ක්‍ටුවපිටිය පල්ලියේ බෝම්බයක් පිපිරිලා කියලා. ඒත් අපි හීනෙකින්වත් හිතුවෙ නැහැ මහත්තයට අනතුරක් වෙලා කියලා. පස්සෙ හොයලා බලනකොට තමයි මහත්තයා නැතිවෙලා කියලා ආරංචි වුණේ. මේ වගේ දෙයක් අපිට වෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවෙ නැහැ.

මහත්තයා ගමේ පොදු වැඩ කොයි එකටත් මුල් තැන අරගෙන වැඩ කරපු කෙනෙක්. ගමේ සමිති සමාගම්වල නිලතල දැරුවා. සමාජ සේවා වැඩවල තමයි එයා නිතරම හිටියේ. දැන් ඉතිං මොනවා කරන්නද? අපි නොහිතපු විදිහට අසරණ වුණා. අපි බලාපොරොත්තු වුණා මේ අපරාධය කරපු අයට දඩුවම් කරලා රජයෙන් සාධාරණයක් ඉෂ්ට කරාවි කියලා. සිද්ධිය වෙච්ච දවස්වල ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න පටන් ගත්තා. ඒ පරීක්ෂණවලින් මේ දක්වා සිද්ධියට අදාළයි කියන කිසි කෙනෙක් අත් අඩංගුවට ගත්තෙ නැහැ. දන්න තරමින් ආරංචිවල හැටියට කීප දෙනෙක් අත් අඩංගුවට අරන් තියෙනවා. ඒත් අපි හිතනවා ඒ එකක්වත් වැඩක් වෙන එකක් නෑ කියලා. කාදිනල්තුමා කිව්වා ප‍්‍රහාරයට සම්බන්ධව නිසි පරීක්ෂණයක් කරන්න කියලා. ඒත් අපිට විශ්වාස නැහැ හරි පරීක්ෂණයක් කෙරෙයි කියලා. අපි කැමතියි මේ සම්බන්ධයෙන් හරි පරීක්ෂණයක් කරලා වැ‍රැුදිකාරයෝ රටට හෙළිකරනවා දකින්න.

අපිට කනගා‍ටුව තියෙන්නෙ මේ ප‍්‍රහාරය ගැන හිටපු රජය මුලදි දැනගෙනත් ඇයි ප‍්‍රහාරය මැඩ පවත්වන්න ඉදිරිපත් නොවුණේ කියන එකයි. අන්තිම පැය දෙකේදිත් බුද්ධි අංශය දැනුවත් කරලා තියෙනවා කියලා අපි රේඩියෝ එකෙන්, ටීවී එකෙන් ඇහුවා. ඒත් මේ ප‍්‍රහාරය රජයට නතර කරගන්න බැරිවුණේ කොහොමද කියලා තේරෙන්නෑ.

එදා ප‍්‍රහාරය නතර කරගන්න පුළුවන් වුණා නම් මගේ මහත්තයා වගේම තවත් ගොඩ දෙනෙකුගේ ජීවිත බේරෙනවා. මහත්තයා නැති වේදනාව, පාඩුව අපිට ගොඩක් දැනෙනවා.

මහත්තයා නැති වුණ දවස්වල එක, එක්කෙනා කෑම ගෙනැත් දුන්නා. රජයෙන් දීමනාවකුත් ලැබුණා. ඒත් ඒ ඔක්කොම ඒ දවස් ටිකේ විතරයි. දැන් අපි කෑවද, බිව්වද අහන්න කෙනෙක්වත් නැහැ.”‍

සිද්ධිය සම්බන්ධයෙන් ඈන් කොන්ස්ටන් මහත්මියගේ පුත‍්‍රයා දැක්වූයේ මෙවැනි අදහසකි.

”‍මේ කරන පරීක්ෂණ ගැන අපිට කිසි පැහැදීමක් නැහැ. අපි ළඟදි බී.බී.සී එකෙන් කරපු ඩොකියුමන්ට‍්‍රි එකක් බැලූ‍වා. ඒකට අනුව ප‍්‍රහාරය සම්බන්ධයෙන් පහුගිය රජයේ දේශපාලඥයන්, ජනාධිපතිවරයා දැනගෙනයි ඉදලා තියෙන්නේ. ඒත් ඒ අය ඒ කිසිම දෙයක් ගණන් ගත්තෙ නැහැ. එවකට හිටපු අගමැතිතුමයි, ජනාධිපතිතුමයි අතරේ තිබ්බ කඹ ඇඳිල්ල නිසා මේ කිසිවක් ගණන් අරගෙන නැහැ. කාදිනල්තුමාත් මේ ගැන කියලා තියෙනවා.

ඒ අයගේ දේශපාලන අරමුණ නිසා දෙගොල්ලොම නොසලකා හැරියා. ඒත් එදා හිටපු ජනාධිපතිතුමා දැන් මේ ආණ්ඩුවේ සභාපති කෙනෙක්. දේශපාලඥයෝ ඔය විදිහට ඔය කාටවත් දඬුවම් දෙයි කියලා අපි විශ්වාස කරන්නෙ නැහැ. ඒත් හිටපු නිලදාරීන්ට එදා හිටපු අය දඬුවම් දුන්නා. මේ අයත් දඬුවම් දෙයි. හැබැයි අපි කියන්නෙ පරීක්ෂණ ක‍්‍රම දෙකකට යන්න ඕනා කියලයි. මේ සිද්ධිය කරපු අයටත් දඬුවම් දෙන්න ඕනා. ඒ වගේම ප‍්‍රහාරය වළක්වන්නෙ නැතිව හිටපු අයටත් දඬුවම් දෙන්න ඕනා.

දැන් මේවා කරපු කට්ටිය ගැන කිසි කතාවක් නැහැ. වළක්වපු නැති එක ගැන දේශපාලනය අල්ලගෙන දගලනවා. අපිට ඕන ඒක නෙවෙයි. දෙගොල්ලන්ටම දඬුවම් දෙන්න ඕනා. හැබැයි අපි පෞද්ගලිකව විශ්වාස කරනවා ඒක ඒ විදිහට වෙන්නෙ නැහැ කියලත්.

දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා මාස පහයි. අපිට ඕනා ඇත්තටම වගකිවයුත්තන් කවුද කියලා සාධාරණ පරීක්ෂණයක් කරලා වැ‍රැුදිකාරයෝ රටට හෙළිදරව් කරනවා දකින්නයි.”‍

පාස්කු ප‍්‍රහාරයෙන් තුවාල ලබා ජීවිතය බේරාගෙන නමුත් එක්තැන්ව සිටින සෙල්ලකන්ද පාර ක්‍ටුවපිටියේ පදිංචි ජසින්තා මහත්මිය පැවසූයේ මෙවැන්නකි.

”‍මගේ මහත්තයා ඒ වෙනකොට හිටියේ ඉතාලියේ. පුතායි, දුවයි ? පූජාවට ගිය නිසා මම උදේ පූජාවට තනියෙම ගියා. මම පූජාව වෙලාවෙ හිටියේ ලූ‍දුරු ගුහාව පැත්තේ. පූජාව යන අතරේ එකපාරටම සද්දයක් ආවා. ඒ සැනින් මාව උඩ ගිහින් බිම වැ‍ටුණා වගේ දැනුණා. මගේ ළඟ හිටපු කීප දෙනෙක් මගේ ඇග උඩට වැ‍ටුණා වගෙත් දැනුණා. මිනිස්සු එහාට-මෙහාට යනවා වගේ තේරුණා. කොහොම හරි ඒ අතරින් කෙනෙක් ඇවිදින් ‘මේ ජසින්තා අක්කා‘ කියලා මාව උස්සගෙන ලොරියක දාගෙන ඉස්පිරිතාලෙට අරගෙන ගියා. මාස හතරක් මීගමුව රෝහලේ නතරවෙලා ප‍්‍රතිකාර ගත්තා. ශල්‍යකර්ම කීපයක් කළා. ඒත් මගේ කකුල් දෙක පණ නැහැ. ජීවිත කාලෙම මේ විදිහට තමයි ඉන්න වෙන්නේ කියලා දොස්තරවරු කිව්වා.

අපිට රජයෙන් මුලදී ලක්ෂ පහක් දුන්නා. ඒ දුන්න ලක්ෂ පහ විතරයි. අද වෙනකන් කිසිම කෙනෙක් අපිව බලන්න ආවෙ නැහැ. මැති, ඇමතිවරු තියා ප‍්‍රාදේශීය මන්ත‍්‍රී කෙනෙක්වත් තාම ආවෙ නැහැ.

කාදිනල්තුමා තමයි අපි ගැන හොයාබලන්නේ. කාදිනල්තුමාගේ ‘සෙත්සරණ‘ මාර්ගයෙන් තමයි මගේ කකුලේ ප්ලේට් එකක් දැම්මේ. ඒකට හරිනාස්, එම්. හවුස් එකෙන් උදව් කළා. දැන් මට මාසෙකට බෙහෙත්වලට රුපියල් විසිදාහක් විතර වියදම් වෙනවා. එදා ලක්ෂ පහක් දුන්නා විතරයි. වෙන රටවල්වලින් ආධාර ලැබිලා තියෙනවා කිව්වට ඒවට මොනවා වුණාද කියලා අපි දන්නෙ නැහැ.

පහුගිය රජය ප‍්‍රහාරයට අදාළ පරීක්ෂණ පටන් ගත්තා. ඒත් ප‍්‍රහාරයට අදාළ කිසිම කෙනෙක් අල්ලගත්තා කියලවත්, දඬුවම් දුන්නා කියලවත් දැකලා, අහලා නැහැ.

හැබැයි වර්තමාන ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් තියෙනවා. එතුමා මුලදීත් කියලා තිබුණා මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරලා, හොයලා බලලා වැ‍රැුදිකාරයොන්ට නිසි දඬුවම් දෙනවා කියලා. රජය සහ ජනාධිපතිතුමා ඒ ගැන විධිමත්ව හොයලා බලයි කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා.”‍

තුවාල ලැබූ ජසින්තාගේ ස්වාමි පුරුෂයා වන ෂාලි අප්පුහාමි පැවසූයේ මෙවැන්නකි.

”‍හිටපු ජනාධිපතිවරයා ජාතිය අමතලා කිව්වා පාස්කු ප‍්‍රහාරය වළක්වාගන්න තිබුණු එකක් කියලා. ඇත්තටම සිද්ධිය වෙලා අවුරුද්දක් ගිහිල්ලත් අපි ගැන හොයාබලන්න ආවෙ නැති එක අපි සතු‍ටු වෙනවා කියලයි කියන්න වෙන්නේ. මොකද කනගා‍ටු වෙනවා කියන්න බැහැ. ලෝකෙන්ම ලැබුණු සහනාධාර කෝ? මේ ලක්ෂ පහක් දීලා විතරයි. අද වෙනකොට මට මේ වෙනුවෙන් වියදම් වෙච්ච මුදල් ගාණ කියන්න බැරි තරම්. ඉදිරියේදී මීටත් වඩා වැඩ ගොඩක් නිසා වියදම් වැඩිවෙයි.

අපිට දැනගන්න ඕනා මේ ප‍්‍රහාරය වළක්වාගන්න පුළුවන්කම තියෙද්දිත් වළක්වා නොගත්තෙ ඇයි කියලා. කොහෙද දුර්වල කියලා. බුද්ධි අංශය, ආරක්ෂක අංශය, කොහෙන්ද මේක මඟ ඇරුනේ කියලා දැනගන්න කැමතියි. පහුගිය රජය පටන් ගත්ත පරීක්ෂණ ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ. මොකද පරීක්ෂණ පවත්වන්න තරම් ඒ අය ශක්තිමත් අය නෙවෙයි. රනිල් මහත්තයා එක පැත්තක, මෛත‍්‍රී මහත්තයා තව පැත්තක, මුස්ලිම් නායකයන් තව පැත්තක, දෙමළ නායකයන් තවත් පැත්තක, එතකොට නායකයන් හතර පස්දෙනා රට පාලනය කළේ කොහොමද?

පක්ෂ බේදයකින් තොරව බලනවා නම් අපි පිදිය යුත්තන් පිදිය යුතුයි. දැන් ආරම්භ කරපු පරීක්ෂණ ගැන අපිට විශ්වාසයක් තියන්න පුළුවන්. මොකද එදා බුද්ධි අංශ හිරේ දැම්මා. අද අලූ‍ත් බුද්ධි අංශ හැදුවා. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ රජය නියම වැ‍රැුදිකරුවන්ට දඬුවම් දෙයි කියලා.”‍

ප‍‍්‍රියපේම මානික්කරත්න සීදුව සමුහ 

නව අදහස දක්වන්න