එංගලන්ත ක්‍රිකට් මුල් පුටුව වට්මෝර්ට | දිනමිණ

එංගලන්ත ක්‍රිකට් මුල් පුටුව වට්මෝර්ට

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති කොලින් ග්‍රේව්ස් මහතා සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. එළැඹෙන අගෝස්තු මස 31 වැනිදා ඒ මහතා සිය ධුරයෙන් ඉවත් වන අතර, ඔහු වෙනුවට නව සභාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව ඇත්තේ ඉයන් වට්මෝර් මහතාය. මේ මස පැවැත්වෙන එරට ක්‍රිකට් ආයතනයේ මහ සභා රැස්වීමේ දී ඔහුගේ පත්වීමට අනුමැතිය හිමි වීමට නියමිතය. ඉයන් වට්මෝර් මහතා මින් පෙර එරට පාපන්දු සහ රග්බි ක්‍රීඩාවල පරිපාලකයෙකු ලෙස කටයුතු කර තිබේ.

කොලින් ග්‍රේව්ස් මහතා ලබන නොවැම්බර් මාසය දක්වා සිය ධුරයේ කටයුතු කිරීමට නියමිතව තිබුණ ද ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන පන්දු සියයේ ක්‍රිකට් තරගාවලිය ලබන වසර දක්වා ලක් දැමීමත් සමග නියමිත කාලයට පෙර සිය ධුරයෙන් ඉවත් වීමට ඔහු තීරණය කළේය.

වසර 2006 දී යෝක්ෂයර් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ග්‍රේව්ස් මහතා 2015 වසරේ දී එංගලන්ත ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස පත්විය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වීමේ අවස්ථාව ද ඔහු ඉදිරියේ තිබේ.

එංගලන්ත ක්‍රිකට් ආයතනයේ මහා සභා රැස්වීම මේ මස 12 වැනිදා පැවැත්වීමට නියමිත වූ කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මාසයේ අගභාගය දක්වා කල් දමා ඇත.

නව අදහස දක්වන්න