අමා දම් සිසිලස ධර්ම දේශනය අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් | දිනමිණ

අමා දම් සිසිලස ධර්ම දේශනය අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන්

ප්‍රඥා සම්පන්න දැහැමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන අමා දම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 197 වන ධර්ම දේශනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (07) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි විසින් මෙවර ධර්ම දේශනය පවත්වන ලදී.

ඔමාරේ කශ්‍යප හිමියන් විසින් රචිත “බුදු මඟ යළි සිහිගැන්වූ කොරෝනා” නම් ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වීමද මෙහිදී සිදුවිණි.

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනයේ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රසිරි වැලිවිට මහතා මේ අවස්ථාවට එක්ව සිටි අතර මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ කෝවිඩ් - 19 ආසාදිත නාවිකයන්ට දේශීය ආයුර්වේදය අනුව ප්‍රතිකාර කෙරෙමින් පවතින ආකාරය සම්බන්ධයෙන් ඒ මහතා මෙහිදී අගමැතිවරයා දැනුවත් කළේය.

මේ වන විට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති මෙම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවේදය සාමාන්‍ය ජනතාව අතරට ගෙන යමින් කෝවිඩ් -19 වෛරසය ශරීරගත වීමට පෙර ප්‍රතිශක්තිකරණ ඖෂධයක් ලෙස භාවිතා කර රෝගය ව්‍යාප්තවිම වළක්වා ගැනීමේ හැකියාව ඇති බව එහිදී වෛද්‍ය චන්ද්‍රසිරි වැලිවිට මහතා පෙන්වා දුන්නේය.

මේ සඳහා රජයේ අනුග්‍රහය බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවේ ය.

එන්. එස්. බී. එම් හරිත සරසවියේ ඉගෙනුම ලබන නවිත් මාලිග ලියනගේ නිපද වූ සියයට 99ක් වායු පිරිසුදුකරණය සහිත මුඛ ආවරණයක් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට හඳුන්වා දුන්නේය.

සිංගප්පූරුවට අපනයනය කිරීම සඳහා මාස් හෝල්ඩින් සමාගම නිපද වූ මුඛ ආවරණවලින් පළමු නිෂ්පාදන පෙල මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයාට පරිත්‍යාග කිරීමද සිදුවිණි.

නව අදහස දක්වන්න