ඉන්දියාවේ දුම්රිය මාර්ගයක නිදාසිටි පිරිසක් මතින් දුම්රියක් ගමන් කරයි | දිනමිණ

ඉන්දියාවේ දුම්රිය මාර්ගයක නිදාසිටි පිරිසක් මතින් දුම්රියක් ගමන් කරයි

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද උදෑසන මහාරාෂ්ට්‍රයේ ඖරන්ගාබාද්හි සංක්‍රමණිකන් පිරිසක් මතින් ගමන් කිරීම හේතුවෙන් සංක්‍රමණික කම්කරුවන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කර ඇත.
 
මෙම සංක්‍රමණිකයන් ජල්නා සිට භූස්වාල් දක්වා ගමන් කරමින් සිට ඇතැයි සදහන්වේ. විසි දෙනෙකුගෙන් යුත් සංක්‍රමණික කම්කරුවන් කණ්ඩායමේ දිවි ගලවාගත් සිව් දෙනෙකු දැඩි කම්පනයට පත්ව සිටින බව දැක්වේ.
 
ඔවුන් සිය ගම්මානවලට යමින් සිටි බව එරට දුම්රිය අමාත්‍යාංශය පවසයි. කොරෝනා වයිරසය හේතුවෙන් මාර්තු මස අග සිට රට වසා තැබීම නිසා දස දහස් සංඛ්‍යාත ජනතාවක් රැකියා අහිමිවීමෙන් පසු ඉන්දියාවේ ප්‍රධාන නගරවල සිට සිය නිවෙස් බලා යමින් සිටියහ.
 
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශය බලා පිටත්ව ගිය සංක්‍රමණිකයන්, කොරෝනා වයිරසය හේතුවෙන් රට අගුලු දා ඇති නිසා දුම්රිය ධාවනය නොවන බවට උපකල්පනය කර ධාවන පථවල නිදාගෙන ඇතැයි පොලිසිය පවසයි. නමුත් අද අලුයම 5.15 ට මුම්බායි සිට කි.මී. 360 ක් දුරින් භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක් ධාවනය වී ඇත.
 
දුම්රිය මාර්ගයේ පාවහන් සහ වෙනත් පෞද්ගලික බඩු බාහිරාදියකින් පිරී ඇති අතර ඔවුන්ගේ ගමන සඳහා ඔවුන් රැගෙන ගිය රොටි පවා මාර්ගයේ දක්නට ලැබෙන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
 
අනතුර වීමට ප්‍රථම දුම්රිය නවත්වා ගැනීමට රියදුරු උත්සාහ කර ඇති බව දුම්රිය අමාත්‍යාංශය ට්විට්ර් පණිවුඩයක් මඟින් දැනුම් දී තිබේ.
 

නව අදහස දක්වන්න