සාපෙළ ප්‍රතිඵල ආවා ආවා | දිනමිණ

සාපෙළ ප්‍රතිඵල ආවා ආවා

ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපනය ලබන දරුවන්ට අපොස සාමාන්‍ය පෙළ සමත් වීම යනු උසස් පෙළ පන්තියට යාමට අවශ්‍ය සුදුසුකම සපුරා ගැනීමකි. දරුවන්ට සැබවින්ම එය ප්‍රධාන කඩඉමකි. සාමාන්‍ය පෙළින් පසුව ඇතැම් සිසුහු උසස් පෙළ පන්තියට ගොස් උසස් අධ්‍යාපනයට අවතීර්ණ වන අතර ඇතැම්හු එතැනින්ම තමන්ගේ අධ්‍යාපනය අවසන් කර දමති. ඒ හේතුවෙන් සාමාන්‍ය පෙළින් පසුව දරුවන්ගේ ජීවිත කඩාකප්පල් වීමත්, ජීවිතය සාර්ථකත්වයට අඩිතාලම දැමීමත් යන කාරණා දෙකම සිදු වේ. මේ කාරණාවලට හේතුව වී ඇත්තේ සාමාන්‍ය පෙළින් පසුව හරියාකාර තීරණ නොගැනීම ය

මේ වනවිට ගිය වසරේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඑල නිකුත් කර ඇත. කවර රටක වුවත් වැඩිහිටියන්ගේ ප්‍රධාන වගකීම වනුයේ බාල පරපුර බුද්ධිමත්,කාර්යශූර,ගුණගරුක දරුවන් බවට පත් කර ගැනීම ය. ඒ සඳහා ආරම්භයේ දී මාපියන් ද, අනතුරුව පන්සල, පල්ලිය වැනි ආගමික ස්ථාන ද ,විධිමත් අධ්‍යාපනයක් ලබා දෙන පාසල ද තම භූමිකාව භාර ගත යුතු ය. අවුරුදු 05 දී විධිමත්ව පාසලට ඇතුළත් වන දරුවන් අවුරුදු 10-11 පමණ කාලයක් පාසලේදී විෂයන් හතක් අටක් උගනිති. මේ ඉගෙන ගනු ලබන විෂයයන් හා එහි ප්‍රමාණය යන සියල්ල උගත් අධ්‍යාපඥයින් හා ගුරුවරුන් විධිමත් විෂය මාලා ලෙස නිර්දේශිතය.

එම විෂය මාලාවේ භාෂාව, සාහිත්‍යය,ආගම,ගණිතය,විද්‍යාව,පරිසරය,සංගීතය, නර්තනය,සමාජ අධ්‍යයනය ආදී ලෙස තෝරා ගත් විෂයයන් හත අටක දැනුම වර්ධනය කෙරේ. මේ විෂයයන් ඉගැන්වීමේ හා ඉගෙනගැනීමේ ප්‍රධාන මාධ්‍ය භාෂාවයි. ළමා කාලයේ සිටම භාෂා කුසලතාව , එනම්, සවන්දීම,කථනය,කියැවීම හා ලිවීම යන චතුර්විධ ක්‍රියාකාරකම් හොදින් උගත් සිසුන්ට අන් සෑම විෂයක්ම ඉගෙනීමට පහසුවක් ලැබේ. මෙලෙස ඉගෙන ගන්නා විෂයයන් සිසුන් කොතෙක් දුරට ග්‍රහණය කරගෙන මතකයේ රදවා ගන්නේ ද යන්න දැන ගැනීම සදහා විභාග පවත්වනු ලබයි.මේ විභාග බොහෝ විට ලිඛිත විභාග වන නිසා තමන් උගත් දෙය මතකයේ රඳවා ගෙන ඒවා යළි මතකයට නගා විභාගයේදී අසනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමෙන් ශිෂ්‍යන්ගේ සාධනීයත්වය ( Achievement ) මැන බලා වර්ගීකරණය කෙරේ.

අ.පො.සාමාන්‍ය පෙළ විභාගය එලෙස දරුවන්ගේ සාධනීය හැකියාව මැන බැලීමට ජාතික මට්ටමේ නිර්ණායකයක් ලෙස භාවිත කරනු ලබන්නකි. මෙම විභාගයට පෙනී සිට දරුවන් තම දක්ෂතාවන් හදුනා ගත යුතු ය. ලකුණු අනුව තම දක්ෂතා වර්ගීකරණය කරනු ලැබේ.

2019 වසරේ අ.පො සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් 556256 ක් පෙනී සිට ඇත. මෙම සිසුන්ගෙන් 73.84% ක් අ.පො.උසස් පෙළ පන්තියට යාමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත. එනම් විෂයයන් 06 කට සම්මාන තුනක් සහිතව සමත්ව ඇත.ඒ අනුව 26.16% ක් උසස් පෙළ පන්තියට යාමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගෙන නැත. මෙම විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 66.82 % ක් ගණිතය සමත්ව ඇති අතර 33.18% ක් ගණිතය අසමත්ව ඇත. විභාගයෙන් ලබා ගත හැකි උපරිම සාමාර්ථය වන A9 ලබා ගත් සිසුන් 10346 ක් වේ. ඒ සාමාර්ථ පෙනී සිටි සංඛ්‍යාවෙන් 1. 86 කි. මේ සංඛ්‍යාංක මගින් හෙළිදරවු වනුයේ මේ පරීක්ෂණයෙන් මනිනු ලබන දක්ෂතාවලින් ලබා ගෙන ඇති සාධන මට්ටමයි. වෙනස් ප්‍රශ්න පත්‍රයක් දී විභාගය පවත්වනුයේ නම් මෙම ප්‍රතිඑලය වෙනස් විය හැකි ය. මෙයින් පැහැදිලි වන්නේ මැන ලබන විභාගයේ ප්‍රතිඑල මෙයි බවයි.

*විභාග ප්‍රතිඑලවලින් පසු

විභාග ප්‍රතිඑලවලින් පසු ගනු ලබන තීරණ කිහිපයක් තිබේ.

1- උසස් පෙළ පන්තියට ඇතුළු වීම.

2- නැවත වරක් විභාගයට පෙනී සිට සාධනීය මට්ටමක් ලබා ගෙන 2020 දී සාමාර්ථයක් ලබා ගැනීම.

3- විධිමත් පාසල් අධ්‍යාපනය නවතා දමා වෘත්තීය පුහුණුව සඳහා පවත්වන වෙනත් ආයතනවල ඉගෙනීමට යොමු වීම .

4- ඉහළට ඉගෙනීම නවතා දමා රැකියා පුහුණුව සඳහා අදාළ රැකියා වැඩපොළවලට සම්බන්ධ වීම.

5- කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, වෙළෙඳාම යනාදී ක්ෂේත්‍රයක නිරත වීම.

*උසස් පෙළ විෂයයන් තෝරා ගැනීම

විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 73.84% ක්ම උසස් පෙළ පන්තියේ ඉගෙනීමට සුදුසුකම් ලැබීම ඉහළ සාමාර්ථයකි. මෙම ලකුණු පදනම් කර ගෙන උසස් පෙළ විෂයයන් තෝරා ගැනීම බුද්ධිමත් අයුරින් කළ යුතු ය. ප්‍රධානවශයෙන්ම සළකා බැලීය යුතු කරුණු කිහිපයකි.

1- තමන්ගේ අනාගත අව්‍යතා කවරේ ද?

2- කවර ක්ෂේත්‍රවලින් ඉදිරියට යාමට අවශ්‍ය ද?

3- තමන්ගේ හැකියා සහ රුචිකම් කවරේ ද?

4- තමාට ළඟා විය හැකි ඉගෙනුම් පරිසරය කුමක් ද?

5- ආර්ථික, සාමාජීය සාධක වලින් ලබා ගත හැකි සහය කුමක් ද? යන කාරණා වේ.

ඉහළ ලකුණු ලබා ගෙන ඇති සිසුන් පෙන්නුම් කරනුයේ මෙම අධ්‍යාපන ක්‍රම ශිල්පය තුළ ඉහළට යාමට දක්ෂ බව ය. ඒ අනුව සමහර සිසුවකු අනාගයේ ඉහළ ස්ථරයකට පිය නගයි.සමාජය පිළිගනු ලබන අගයන් හා වටිනාකම් ලබා ගෙන ඉහළ ඉලක්ක කරා ගමන් කළ හැකි වෘත්තීමය ඉලක්ක කර ගෙන ඉගෙනීමයි. මේ අනුව තමා කැමති ක්ෂේත්‍රයක වුවත් ඉහළට යාමේ අභියෝගය භාර ගැනීමට මේ සිසුන්ට හැකියාව ඇත. ඒ අනුව විද්‍යා,කලා, වාණිජ්‍ය ,තාක්ෂණය,කෘෂිකර්මය ආදී ලෙස ප්‍රධාන විෂයන් කිහිපයක් හදුන්වා දී ඇත.

මෙහිදී සිසුන් විෂයන් තෝරා ගැනීමේදී එම විෂයන් කොතරම් සාර්ථක ලෙස හැදෑරීමේ හැකියාවක් පවතිනවා ද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු ය. හැකියාව සහ රුචිකත්වය යන කාරණා දෙකම විෂයයන් තෝරා ගැනීමේදී අනිවාර්යයෙන්ම සළකා බැලිය යුතු ය. එහිදී ද තම පෞරුෂ ලකුණු අනුව කාර්යාලයක,විද්‍යාගාරයක, යනාදී ක්ෂේත්‍රවල සේවය කිරීමට කැමැත්තක් දක්වනවා නම් ඒ පිළිබඳව සැළකිලිමත් වී විෂය ධාරා තෝරා ගත යුතු ය. මෙහිදී තමන් තීරණ නොගෙන මාර්ගෝපදේශකයකු, ගුරුවරයකු හෝ වෙනයම් උපදේශකයකු සමඟ සාකච්ජා කර තීරණ ගැනීමට පුළුවන. තමන්ට කොතරම් ආශාවක් තිබුණද ඒ සඳහා අවශ්‍ය බුද්ධිය සහ දක්ෂතාවය නැතිනම් එම විෂයයන් තෝරා ගැනීමේදී ප්‍රවේසම් විය යුතු ය. උසස් පෙළ විභාගයට තව වසර දෙකකට පසුව පෙනී සිටි කල්හි එම විභාගයෙන් ඉහළ දක්ෂතා ලබා ගෙන සිසුන්ට විශ්ව විද්‍යාල,විද්‍යා පීඨ, හෙද ආයතන,ආදී ස්ථානවලට ඉගෙන ගැනීමට යා හැකිය .

මේ අනුව වෛද්‍යවරයකු,හෙදියක,හා සෞඛ්‍ය ක්ෂේත්‍රය ආදී ඒ හා බැදුණු ක්ෂේත්‍රවල රැකියාවල් කිරීමට කැමැති නම් ජීව විද්‍යා ක්ෂේත්‍රය තෝරා ගැනීම අවශ්‍ය ය. මෙහිදී ශ්‍රී ලංකාවේ එම රැකියාවලට ඉල්ලුම් කිරීමට , සම්බන්ධ වීමට ඇති සුදුසුකම් කවරේ දැයි ආරම්භයේ දීම සොයා ලැබිය යුතු ය.මේ අනුව කල්පනා කර අනාගත රැකියා ක්ෂේත්‍ර ද සැළකිල්ලට ගෙන විෂයයන් තෝරා ගත යුතු ය.

අනාගතය යනු වර්තමානයේ කරන කියන දෑවල ප්‍රතිඑලයයි. ඒ නිසා ඔබ වර්තමානයේ පැමිණෙන අභියෝගවලට හොඳින් මුහුණ දී අනාගතය සාර්ථක කර ගැනීමට පියවර ගත යුතු ය. අනාගතයේ සතුට රඳා පවතින්නේ ඔබ දැන් ගනු ලබන තීරණ අනුව ය. අනාගතය යනු හුදෙක් අප ළඟා වන තැනක් නොව අප සැළසුම් කර උනන්දු වී මහන්සි වී තනා ගන්නා දෙයකි. එලෙස සිතා උපරිමයෙන් මහන්සි වී තමන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට සෑම දරුවෙකුම මතක තබා ගත යුතු ය.

සටහන- මදාරා මුදලිගේ

 

නව අදහස දක්වන්න