සහරාන්ගෙන් සටන් පුහුණුව ලැබූ දරුවන් හතක් සොයා ගනියි | දිනමිණ

සහරාන්ගෙන් සටන් පුහුණුව ලැබූ දරුවන් හතක් සොයා ගනියි

සහරාන් ආ බව සඟවන්නැයි විදුහල්පති කියලා
පුහුණුව ලැබුවේ නීතිඥයාගේ මද්‍රසා පාසලෙන්
ෂැංග්‍රිලා සිනමන් බෝම්බකරුවනුත් දේශන තියලා

සී.අයි.ඩී පරීක්ෂණවලින් හෙළි වෙයි

පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥවරයා සභාපති ධුරය දරන රාජ්‍ය නොවන සංවිධානය මඟින් පවත්වාගෙන ගිය මද්‍රසා පාසලේ අධ්‍යාපනය ලබමින් සිටිය දී සටන් පුහුණුව ලැබූ දරුවන් 07 දෙනෙක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් පෙරේදා (09) සමත් ව ඇත. එම දරුවන් වසය අවුරුදු 18 ත් 15 ත් අතර වයස්වල පසුවන්නන් ය. මෙම දරුවන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ප්‍රශ්න කිරීම්වල දී ඒ අයට මද්‍රසා පාසලේ දී අන්තවාදය ඉගැන්වූ අයුරු මෙන් ම සටන් පුහුණුව ලබා දුන් ආකාරය ගැන ද හෙළි කර තිබේ.

“මෙම දරුවන් හත් දෙනා සොයා ගැනීමට අපිට ලොකු මහන්සියක් ගන්න සිදු වුණා. පොත්පත්වල සදහන් ලිපිනවල නෙමෙයි මේ දරුවෝ පදිංචි වෙලා හිටියේ. පාස්කු ප්‍රහාරයට පෙර මේ දරුවන්ව නේවාසිකව තබාගෙනයි විවිධ පුහුණුවීම්වලට යොමු කරල තියෙන්නේ. ප්‍රහාරයෙන් පස්සේ මේ අයව ගෙවල්වලට යවලා. මට්ටක්කුලියේ ලිපිනයක් සහිත දරුවන් සිව් දෙනකුත් ඒ අතර හිටියා. හැබැයි ඒ දරුවන් මට්ටක්කුලියේ අය නෙමෙයි. මට්ටක්කුලියට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ දරුවන්ව අපි සොයා ගත්තේ පුත්තලම පැත්තෙන්. දරුවන්ගේ හරි තොරතුරු වුවමනාවෙන් ම සඟවලා තියෙන බවයි අපේ විමර්ශනවලින් පෙනී ගියේ. මෙම පාසල පවත්වාගෙන ගොස් තිබෙන රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධාන නිලතලවල පවා හිටියේ ඉදල තියෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් මරාගෙන මැරුණු අයයි. “ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් පොලිස් නිලධාරියකු ප්‍රකාශ කළේය.

මෙම දරුවන්ගෙන් වැඩිදෙනකු අනාථ දරුවන් බවත් පාස්කු ප්‍රහාරයෙන් පසු මෙම දරුවන් ව ඥාති නිවෙස්වලට පිටත් කර යවා ඔවුන්ව සැඟවීමේ උත්සහයක නිරත ව ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

“මේ දරුවන්ව රඳවාගෙන සිටි මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා දරුවන්ට පවසලා තියෙනවා සහරාන් පැමිණි බවක් කවුරුන් ඇහුවත් කියන්න එපා කියලා. ඒ වගේම පාස්කු බෝම්බ ප්‍රහාරයේ දී ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් දෙකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනෙක් මෙම පාසල පවත්වාගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානයේ ලේකම්ධුරයත් භාණ්ඩාගාරික ධුරයත් දරල තියෙනවා. ඒ අයත් නිතර මෙම පාසලට පැමිණ දරුවන්ට දේශන පවත්වලා තියෙනව. ඒ ගැන පවා කිසිවක් කියන්න එපා කියලා විදුහල්පති දරුවන්ට කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මෙම පාසලට සහරාන්ගේ මල්ලි රිල්වාන් ඇවිත් අන්තවාදී දේශන පවත්වලා තියෙනවා. පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පස්සේ අම්පාරේ නිවසක් තුළ කුඩා දරුවොත් එක්ක ම මරාගෙන මැරුණේ රිල්වාන්. මේ සියල්ලක් ම හඟවන්නයි විදුහල්පතිට වුවමනා වෙලා තියෙන්නේ. ඒ ගැන දරුවන්ගේ ප්‍රකාශවලිනුත් කරුණු අනාවරණය වෙනවා“ යැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ උසස් නිලධාරියා සදහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න