මෙතෙක් පැවැති කිසිම රජයක් ජනතාවගෙන් දේපළ ඉල්ලුවේ නෑ | දිනමිණ

මෙතෙක් පැවැති කිසිම රජයක් ජනතාවගෙන් දේපළ ඉල්ලුවේ නෑ

අවස්ථානුකූලව ආර්ථිකය සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක කරනවා විනා තමන් හරිහම්බ කළ මුදල රජයට පරිත්‍යාග කරන්නැයි මෙතෙක් කිසිදු රජයක් ජනතාවගෙන් ඉල්ලා සිටි බවට වාර්තා වී නොමැති බවත් ආර්ථික අර්බුදය වසංකිරීම සඳහා හමුදා පාලනයකට මඟ පාදමින් සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්ය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

"ඕනෑම රටකට නොසිතූ ආකාරයට හා නොසිතූ වේලාවක ස්වාභාවික මෙන්ම මිනිසුන් විසින් ඇතිකරන ලද ව්‍යසනයන් සිදුවීම සාමාන්‍යයි. බලයේ සිටින පාලකයන් දක්ෂ නම් රටේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් ඒවාට විසඳුම් සොයාගත හැකිය. එසේ අවස්ථානුකූලව ආර්ථිකය සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක කරනවා විනා ජනතාවගෙන් හෝ රාජ්‍ය සේවකයන්ගෙන් තමන් හරිහම්බ කළ මුදල රජයට පරිත්‍යාග කරන්නැයි මෙතෙක් කිසිදු රජයක් ඉල්ලා සිටි බවට වාර්තා වී නොමැත. වෛරසය නිසා ගෝලීය ආර්ථික අර්බුදයක් ඇතිවූ බව සත්‍යයකි. එහෙත් ශ්‍රී ලංකාවේ කොරෝනාව ව්‍යාප්ත වීමට පෙර සිටම මහා ආර්ථික අර්බුදයක් හටගත්තේ වසර කිහිපයක් තිස්සේ අනුගමනය කරන ලද රටේ මූල්‍ය විනය මෙම රජය සම්පූර්ණයෙන්ම බිඳ දැමූ නිසාය. "කෝවිඩ්-19 වෛරසය ලෝක ආර්ථිකය මුළුමනින්ම හුදකලා කර සෑම රටකම ජන ජීවිතය අවිනිශ්චිතතාවකට පත් කර ඇතැයි කියමින් අපගේ දේශීය ශක්තිය විදහා දක්වනු වස් මැයි මස වැටුප රජයට පරිත්‍යාග කරන්නැයි 14 ලක්ෂයක් පමණ වන සමස්ත රාජ්‍ය අංශයේ සේවකයන්ගෙන් ජනාධිපති ලේකම් ලිපියක් මඟින් ඉල්ලා සිටියි.

"කොරෝනා වෛරස් ව්‍යාප්තියට පෙර සිටම එනම් මෙම රජය බලයට පත්වී මුල් මාස තුනක් ඇතුළතදීම රජය මහා ආර්ථික අර්බුදයකට තල්ලු වූ බව නොරහසකි. කෙසේ හෝ බලය ගැනීමේ පරමාර්ථයෙන් ඉටු කරන්න බැරි පොරොන්දු දීමෙන් 2020 මාර්තු වන විටම ආර්ථිකය කඩා වැටුණි.

"2014 වසරේ (රු. බිලියන 1000) ට්‍රිලියනයක් පමණ වූ වාර්ෂික රාජ්‍ය ආදායම යහපාලන රජයේ අවසානය වන විට එය දෙගුණයක් දක්වා එනම් ට්‍රිලියන දෙකකට ආසන්න මුදලක් දක්වා (රු. බිලියන 2000) වැඩි කරන ලදි. එහෙත් මෙම රජය ඉටු කරන්න බැරි පොරොන්දු දීමෙන් ජනතාවට කිසිදූ ආර්ථික ප්‍රතිලාභයක් අත්නොවූ වා සේම රාජ්‍ය ආදායම ද 2014 පැවති තත්ත්වයකට යළි අඩු වෙමින් පවතියි. "මා මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටියදී පැවති රුපියල් ට්‍රිලියනයක් පමණ වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම් ඉලක්කය ඡන්දය ලබාගැනීමේ අරමුණින් ජනතාව නොමඟ යවන පොරොන්දු දීම නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම මේ වසරේදී අඩකට වඩා ප්‍රමාණයකින් අඩු වනු ඇත.

නදී මාණික්කගේ

නව අදහස දක්වන්න