දකුණ සැමතින් ම විධිමත් | දිනමිණ

දකුණ සැමතින් ම විධිමත්

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ

රට තුළ නිෂ්පාදන හා සේවා ක්‍රියාත්මක කරමින් විදේශ විනිමය ගලා ඒමේ මාර්ග ද විනිවිදභාවයකින් යුක්තව සිදු වෙයි. මෙහිදී අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජන ජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වය පත්කිරීමට රාජ්‍ය හා පෞද්ගලික යන අංශ විවෘත කිරීමට අවශ්‍ය සැලසුම් දැනටමත් ක්‍රියාත්මක කර තිබේ.

රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 පාලනය කිරීම සඳහා රජය විශාල උත්සාහයක නිරත වෙයි. එයට සහය දීම සඳහා සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ඇතුළු විශාල පිරිසක් කැපවී සිටිති. දකුණු පළාත තුළ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දැඩි අවදානම් තත්ත්වයක් වාර්තා වී නොමැති නිසා පළාත තුළ සියලුම කාර්යයන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන ආකාරයක් දැකගත හැකිය. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යමින් සෞඛ්‍ය හා අධ්‍යාපන අංශවල ක්‍රියාකාරිත්වය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකි වාතාවරණයක් පළාත තුළ නිර්මාණයක් වෙමින් පවතී.

සෞඛ්‍ය පහසුකම් සැලසීම හා සහන කටයුතු සඳහා විශාල මුදලක් රජය වැයකර ඇත. රටේ ප්‍රධාන ආදායම් මාර්ග අහිමි වූ පසුබිමක සෞඛ්‍ය පහසුකම් සැලසීම හා අත්‍යවශ්‍ය සහන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට රජය ක්‍රියාකරන ආකාරය සාධනීය වේ. නව රෝගීන් හඳුනාගැනීම සඳහා පර්යේෂණ වැඩි කිරීම, රෝගීන්ට ප්‍රතිකාර සඳහා රෝහල් පහසුකම් වැඩි කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආරක්ෂිත උපකරණ මිලදී ගැනීම හා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සාර්ථක මට්ටමෙන් සිදුවේ.

ලෝකයේ අනෙක් රටවල දැනට පවතින තත්ත්වය හා බැලීමේදී සාපේක්ෂව වසංගතය පාලනය කිරීමේ සාර්ථකත්වයක් මෙරට දැකිය හැකිය. මෙය සැබවින්ම හොඳ ප්‍රවණතාවයකි. මේ සඳහා විශේෂිත සැලසුමක් ක්‍රියාත්මක වීම ඊට හේතුවයි. අප කුඩා රාජ්‍යයක් වුව ද මේ අවස්ථාවේදී සමස්තය කළමනාකරණය කරගැනීමේ හැකියාව අතින් ඉදිරියෙන් සිටියි. මෙරට ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය තුළ ශ්‍රී ලංකාව සිටින්නේ අතරමැදිවය.

කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ උද්ගත ආර්ථික හා සමාජීය අභියෝග කෙරෙහි අවධානය යොමු කරමින් ආර්ථික පුනර්ජීවනය සැලසීමේ හා දරිද්‍රතාවය තුරන් කිරීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර ඇත. දේශීය කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් දිරි ගන්වන ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ස්ථාපනය කරමින් කොරෝනා වෛරසය නිසා යම්තාක් දුරකට හෝ බලපෑම් සිදු වී ඇති ප්‍රදේශවල ජන ජීවීතය යථා පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගැනීම සිදු වී ඇත.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත දර්ශනය පදනම් කර ගනිමින් නව ප්‍රවේශයක් ඔස්සේ මෙරටට අනන්‍ය වූ ආර්ථික රාමුවක් සකස් කර නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමේ කාර්යය, සාධනීය මට්ටමක පවතී. කොරෝනා වෛරසය මර්දනයට රජය ගෙනයන වැඩපිළිවෙළ හා වත්මන් තත්ත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාමේ වගකීම පැවරී ඇත්තේ අදාළ බලධාරීන්ටය. ඔවුන් එය නියමාකාරයෙන් පවත්වාගෙන යන බවද පෙනෙන්නට තිබේ.

කෙරෝනා වෛරසය පාලනය, නිරෝධායන ක්‍රියාවලිය, ජනතාවට සහන සලසන මෙන් ම ඹවුන්ගේ ආර්ථිකය ගොඩනැගීමට ගෙනයන ක්‍රියාමාර්ග අතර ජනතාවට සහනාධාර, ආධාර ලබාදීමේ වැඩපිළිවෙළ දෙස විමර්ශනාත්මකව බැලිමේදී පැහැදිලි වන්නේ, මීට පෙර ලංකාවේ වසංගත තත්ත්වයකදී කිසිදු බලධාරීන් ක්‍රියාත්මක නොකළ ආකාරයේ වැඩසටහන් විශාල ප්‍රමාණයක් ජනාධිපතිවරයා ඇතුළු සෙසු වගකිවයුතු බලධාරීන් විසින් ක්‍රියාත්මක කර ඇති බවයි.

ගොවියා, නිෂ්පාදන සැපයුම්කරු සහ පාරිභෝගිකයා අතර විධිමත් යාන්ත්‍රණයක් පවත්වාගෙන යන අභ්‍යන්තර වෙළෙඳාම, කෘෂිකර්ම, වැවිලි හා අපනයන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් දකුණු පළාත තුළ නිර්මාණය කර ගැනීමේ හැකියාව ලැබී ඇත්තේ සියල්ලන් තම වගකීම් නිසි ආකාරව ඉටුකිරීමට වගවීමේ ප්‍රතිඵලයක් ලෙසය. මේ අභියෝගය හමුවේ අසීමිත කැපකීම් කරන වැඩකරන ජනතාව ද ජන ජීවිතය අඩාල නොවන ලෙස වසංගතය ඇති මොහොතේ නිෂ්පාදන හා සේවා යන අංශ යාවත්කාලීන කරමින් කටයුතු කරන ආකාරය දැකගත හැකිය.

ආහාර හිඟයක් පැන නැගීමේ අවදානමක් ද පළාත තුළ නොමැත. කෘෂිකාර්මික කටයුතු අතින් දකුණු පළාත දියුණු තත්ත්වයකට පැමිණ තිබේ. කාර්මීකරණයට ද වැඩි ඉඩක් සපයමින් නගා සිටුවීම නිසා රැකියා කටයුතුවලට බලපෑමක් සිදුවී නොමැත. කෘෂි ආර්ථිකයට මුල් තැනක් ලබාදීම නිසා ජන ජීවිතවල පැවැත්ම සාමාන්‍ය පරිදි සිදුවන ආකාරයක් දැකගත හැකිය. ශක්තිමත් කෘෂි ආර්ථිකයකට හිමිකම් කීමත් තේ කුරුඳු වැනි භෝග අපනයනය සාර්ථක මට්ටමෙන් සිදුවීම ඊට තවත් හේතුවකි. විදේශ විනිම සංචිත ලංකාවට රැගෙන ඒමේ කාර්යය ද මේ තුළින් යථා පරිදි සිදුවන බව සඳහන් කළ හැකිය.

මේ මොහොතේ අතිරේක භෝග වගාව අවශ්‍ය වන බැවින් ඒ කෙරෙහි විශේෂ අවධානය යොමුකර ඇත. එහිදී ගෙවතු වගාවට හිමිවන්නේ සුවිශේෂි තැනකි. ගෙවතු වගාව සඳහා පුද්ගලයා යොමු කරවමින් වගා කිරීමට අවශ්‍ය බීජ ලබාදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වේ. කෘෂි අස්වැන්න හා භාණ්ඩ බෙදාහැරීම් විධිමත් ක්‍රමවේදය තුළින් ස්වයංපෝෂිත ආර්ථික රටාවක් නිර්මාණය කිරීම මෙහි අවසාන අරමුණ වෙයි.

මේ වන විට එය සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වේ. ආහාර ආනයනය පිළිබඳ අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීමට මෙය හේතුවේ යැයි අපේක්ෂා කෙරේ. කෘෂි නිෂ්පාදන සහ අනෙකුත් කර්මාන්ත බිඳ වැටීමකට ලක්වී නොමැති අතර ඔවුන් නිෂ්පාදනය කරන ආහාර පරිභෝජනය සඳහා යොදා ගැනීමට හැකි ක්‍රමවේදයක් ගෙවතු වගා සංකල්පය තුළින් සාක්ෂාත් කර ගත හැකිය. මේ පිළිබඳ ජනතාව අවබෝධ කර ගැනීමෙන් මෙරට ආර්ථිකයේ කඩා වැටීමද යම්තාක් දුරකට අවම කර ගැනීමට හැකිය.

ගොවීන් සිය සුපුරුදු වගා කටයුතුවල නිරත වන අතර කෘෂි ක්ෂේත්‍රයේ සාධනීය වෙනසක් මින් අපේක්ෂා කළ හැකිය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අමාත්‍යාංශ යටතේ පවතින ආයතන මෙරට කෘෂිකර්මාන්තය නගාසිටුවීමට සක්‍රීය දායකත්වය ලබාදෙන බව මේ අනුව පැහැදිලිය. නිලධාරින්ගේ සිට ගොවියා දක්වා ධනාත්මක ආකල්ප ඇතිකරවමින් කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම හොඳ ප්‍රවණතාවකි.

රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවීම, සමෘද්ධි සහනාධාර ලබාදීම ඇතුළු මේ මොහොතේ පීඩාවට පත් පුද්ගලයන්ට ආධාර ලබාදීමේ වැඩපිළිවෙළ සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වේ. මෙතෙක් දීමනාව නොලැබුණ අය ඇත්නම් ඔවුන්ට ද එම දීමනාව හිමිවිය යුතුය. එවැනි අය ඇත්නම් ප්‍රදේශයේ ග්‍රාමීය කමිටුව වෙත අදාළ ඉල්ලීම ඉදිරිපත් කිරිම තුළින් තමන්ට සහනයක් ලබාගත හැකි වේ.

රට තුළ නිෂ්පාදන හා සේවා ක්‍රියාත්මක කරමින් විදේශ විනිමය ගලා ඒමේ මාර්ග ද විනිවිදභාවයකින් යුක්තව සිදු වෙයි. මෙහිදී අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජන ජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වය පත්කිරීමට රාජ්‍ය හා පෞද්ගලික යන අංශ විවෘත කිරීමට අවශ්‍ය සැලසුම් දැනටමත් ක්‍රියාත්මක කර තිබේ. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව අනවශ්‍ය ලෙස නිවසින් බැහැරට පැමිණීම හා එක්රැස්වීම නතර කිරීමට අවශ්‍ය විධිවිධාන විධිමත්ව ක්‍රියාත්මක කර ඇත. කවරකු හෝ නිවසින් බැහැරව යා යුතු ආහාර, ඖෂධ වැනි අත්‍යවශ්‍ය හාණ්ඩ හා ද්‍රව්‍ය මිලදී ගැනීමටත්, නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත් හිමිඅයත් පමණි. මොවුන් සියලු දෙනාම මුඛ ආවරණ පැලඳ සිටීම අනිවාර්ය කර ඇත.

දකුණු පළාතේ ජනගහනය 2 637 000 කි. ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුළ මැතිවරණ කොට්ඨාස 22කි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 47ක් ද ග්‍රාම නිලධාරී කොට්ඨාස 2 121ක් ද, පළාත් පාලන ආයතන 49ක් ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 49ක් ද වේ. පළාත තුළ නිවාස සංඛ්‍යාව 632 005කි. කෘෂි, කර්මාන්ත හා සේවා ප්‍රධාන ආර්ථික අංශ වන අතර වැඩි පිරිසක් කෘෂි අංශයෙන් යැපෙන්නන්ය. එම තත්ත්වය හේතුවෙන් ආහාර අර්බුද පළත තුළ ඇති වී තිබෙන්නේ අඩු වශයෙනි.

ප්‍රදේශයට ආවේණික නිෂ්පාදන කේන්ද්‍රකරගත් කර්මාන්ත ස්ථානගත කර තිබීම වඩා හොඳ තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැකිය. ජන ජීවිතයේ ගැටලුකාරී තත්ත්වයන්ගෙන් මිදී මේ වන විට අප මුහුණ දෙමින් සිටින වසංගත තත්ත්වයේදී වුව ද යහපත් ආර්ථික තත්ත්වයක් පවත්වාගෙන යාමට මේ නිසා හැකි වී තිබේ.

ව්‍යසනකාරී තත්ත්වයකදී එහි වගකීම් නිසි ආකාරව සිදු කරමින් රජය සිදු කරන කාර්යය සාධනීය වේ. ජන ජිවිතය බිඳ නොවැටී පවත්වාගෙන යාමට ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේ තමන්ගේ අවශ්‍යතා මිලදී ගැනීම සඳහා ජනතාවට පහසුකම් සපයා දී ඇත. නිවවෙස්වලින් බැහැර වීමට නොදෙන ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර මල්ලක් නිවෙසට ම ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විටත් ක්‍රියාත්මක වේ.

දකුණු පළාතේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධව අවදානමක් නොමැති බව සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත. එහිදී අප පළාත තුළ පළාත් පාලන ආයතන, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ග්‍රාමසේවක නිලධාරීවරු තම ක්ෂේත්‍රය තුළ කැපවීමෙන් කටයුතු කරමින් සිටිති. මෙම තත්ත්වය යහපත්ව කළමනාකරණය කර ගැනීමට හැකි වී තිබෙන්නේ ඉහත කණ්ඩායම්වල දායකත්වය නිසි ආකාරව ලබාදීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

වෙළෙඳසල් තුළදී ජනතාවට ඇති විය හැකි අවදානම් සහගත බව, අපහසුතා මඟ හරවා ගැනීමට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගත හැකි ක්‍රමවේද නිසි අයුරින් සකස් කර ඇත. ඇඳිරි නීතිය කාලය තුළ ඇතැම් පුද්ගලයන්ගේ හැසිරීම අසතුටුදායක තත්ත්වයක පවතින නිසා නැවත දැනුම් දෙන තුරු පනවා ඔවුනට අවශ්‍ය ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වල සිටම මිලදී ගැනීමේ හා ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමෙන් මෙම වැඩපිළිවෙළ සක්‍රීය ලෙස ක්‍රියාත්මක වීමේ ප්‍රවණතාවයක් දැකගත හැකිය. මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කර ජනතාව නිවෙස්වලින් බැහැරට පැමිණීම වලක්වා රෝගය ව්‍යප්තිය අවම කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ.

කොරෝනා වෛරසය මර්දනය සඳහා පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා වෙත මුදලක් හා ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල අප විසින් ලබා දී ඇත. මෙම වසංගතය පැතිරී යාම පාලනය සඳහා අවශ්‍ය පියවර ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ ඇතුඵ බලධාරීහු විධිමත් ක්‍රියාමාර්ග ගෙන ඇත. කොරෝනා වෛරසය පැතිර යෑම වැළැක්වීමේ අරමුණ ඇතිව, මහජනයා සමාජයේ ගැවසීම අවම කිරීමට මේ වන විටත් දිවයින පුරා ඇඳිරි නිතිය ක්‍රියාත්මක වේ. ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එ‍රෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය ද මාර්ග බාධක රාජකාරී සඳහා ත්‍රිවිධ හමුදාව අනුයුක්ත කර සිටියි.කොරෝනා මැඩ පැවැත්වීමේ කාර්යයට බාධා වන අයුරින් හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට ආරක්ෂක අංශ මේ වන විට පියවර ගෙන ඇති අතර එවැනි කටයුතුවල නිරත වන තවත් පිරිස පිළිබඳ විමර්ශන සිදු වෙමින් පවතී.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට පොදු ස්ථානවල විෂබීජහරණය, ජල ප්‍රශ්නයට මුහුණ දී සිටින ජනතාවට ජලය සැපයීම, පාරිභෝගික භාණ්ඩ ලබා ගැනීමේ පහසුකම් සැලසීම හා ආර්ථික ගැටලු වලට මුහුණ පා සිටින අයට සහන සැලසීම අප පළාත තුළ සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන ආකාරයක් දැකගත හැකිය.

වෘත්තීය ආරක්ෂාව සහ පඩි සහිත නිවාඩු ලබා දෙමින් අත්‍යවශ්‍ය සේවකයන් පමණක් සේවයට වාර්තා කරවමින් සමාජයීය දුරස්ථභාවය පවත්වාගෙන ඉදිරි දින කිහිපය තුළ ද කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වේ. ඉදිරි කාලය තුළ රාජකාරී කටයුතු බාධාවකින් තොරව සිදු කරගෙන යා හැකි වාතාවරණයක් පළාත තුළ ඇති කිරීම කෙරෙහි සියලු අංශ අවධානය යොමු කර ඇති අතර දෛනික කටයුතු යාවත්කාලීන කිරීම කඩිනමින් සිදු වේ. කෙසේ වෙතත් අප රටක් ලෙස කොරෝනා අභියෝගයට මුහුණ දී එය ජයගත යුතුය. ඒ සඳහා රටේ පුරවැසියෙකු ලෙස මෙම ජාතික වැඩපිළිවෙළට සහයෝගය ලබාදීම සියලු දෙනාගේම වගකීමකි.

 

පමුදිනි සමරනායක

නව අදහස දක්වන්න