විපක්ෂයේ බෙදීම නිසා ඔවුන්ගෙන් ඡන්ද සියයට 30ක් කැඩුණා | දිනමිණ

විපක්ෂයේ බෙදීම නිසා ඔවුන්ගෙන් ඡන්ද සියයට 30ක් කැඩුණා

හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට උපරිම හිමි වන්නේ මන්ත්‍රී ආසන හැට පහක් වුවත් මේ වන විට ඔවුන්ගේ බෙදී යාම හරහා තවත් සියයට 30 ක පමණ ඡන්ද ප්‍රමාණයක් ඔවුන්ගෙන් අහිමි වී ඇති බවත් හිටපු අමාත්‍ය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්.බී. දිසානායක මහතා පැවසීය.

විශේෂයෙන් මෙම ප්‍රතිඵල අනුව ජ.වි.පෙ. ට එක් ආසනයක් පමණක් හිමිවන්නේ යැයි ද ඒ නිසා විපක්ෂයේ මෙම සියලු කණ්ඩායම් අද වියරුවෙන් ක්‍රියා කරන්නේ යැයි ද ඒ මහතා කීය. ප්‍රතිඵල අනුව ජ.වි.පෙ. හැර විපක්ෂයට හිමි වන මන්ත්‍රී ධුර හැට හතරෙන් පනස් තුනක් එදා තිබූ එ.ජා.ප.යට බවත් නමුත් අද ඔවුන් දෙකඩ වීමෙන් සියයට තිහක් අහිමිව එය ද දෙකට බෙදෙන බවත් දිසානායක මහතා පෙන්වා දුන්නේය. විපක්ෂයට හිමි වන ආසන හැට හතරෙන් 11 ක් එහි සුඵ පක්ෂවලට ලැබෙනු ඇතැයි ද එය ද පවතින තත්ත්වය මත අඩුවනු ඇතැයි ද ඒ මහතා කීය.

ඕනෑම පක්ෂයක් කැඩී බිඳී ගිය පසු ඉන් සියයට තිහක් පමණ ඡන්ද අඩු වන බවත් එ.ජා.ප. ය කැඩී යාම හරහා ඉන් සියයට විස්සක් පොහොට්ටුවට එකතුව ඇති බවත් අනෙක් සියයට දහය ස්වාධීන වී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය මත නාමයෝජනා අවලංගු කර එහි දේශපාලන වාසිය ගැනීමට විපක්ෂය උත්සාහ කරන බවත් ඔවුන් කිසි ලෙසකින්වත් රටට ආදාරයට පාර්ලිමේන්තුව කැඳවීමට ඉල්ලා නොසිටින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

යුද්ධයක් තිබිය දි පවා එදා රටේ ආර්ථිකය යහපත් මට්ටමකට ගෙන ගිය බවත් සියයට 12- සියයට 14ක තිබුණු දුගී බව සියයට 4 දක්වා යුද්ධයෙන් පසු එදා ගෙන ආ බවත් ඒ මහතා කීය. අර්ථික සංවර්ධන වේගය සියයට 3 - 4 සිට සියයට 6 -8 දක්වා ගෙන ආ බව ද රාජ්‍ය රැකියා ලක්ෂ හත හමාරක සිට ලක්ෂ පහළොව දක්වා වැඩි වූ බව ද හෙතෙම පැවසීය. විශේෂයෙන් ලොව මෑත කලීනව ඇති වූ දරුණුතම ව්‍යසනය නිසාවෙන් මුදල් ආහාර ඇතුළු අර්බුද රැසක් ඉදිරියේ දී මෙරටට ද ඇති වන බවත් දක්ෂ ආර්ථික විශේෂඥයකු වන පී.බී. ජයසුන්දර මහතා මෙය කල්තියාම දැක ඇති අතර එය අද ඇතමුන් හෑල්ලුවට ලක්කිරීම කනගාටුවට කරුණක් බවත් දිසානායක මහතා වැඩිදුරටත් කීය.

 

ඉන්දික පොල්කොටුව

නව අදහස දක්වන්න