මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතය ගැසට් කරයි | දිනමිණ

මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතය ගැසට් කරයි

රක්ෂණ ශ්‍රියන්ත

ඇමති චන්ද්‍රසේනගෙන් උපදෙස්

- පුරාවිද්‍යා රක්ෂිතය බෙදා දුන් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ 
- රක්ෂිතයේ අක්කර 17ක් බලෙන් අත්පත් කර ගෙන 
- අක්කර 11ක් ජයභූමි ඔප්පු ලෙස බෙදා දීලා

මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතය අක්කර 30ක් අවම වශ‍ෙයන් ඇතුළත් කොට ගැසට් කිරීමට කටයුතු යොදන ලෙස පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පුරාවිද්‍යා රක්ෂිතයක් කිසිදු සොයා බැලීමකින් තොරව ජනතාව අතර බෙදා දුන් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරන ලෙසත් අමාත්‍යාංශයේ දී ඊයේ (13) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා නියෝග කළේය.

මේ වන විට මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතයේ අක්කර 17ක් පමණ බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබෙන අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කොටසකත් අනවසර පදිංචිකරුවන් රැඳී සිටින බවත් මෙම සාකච්ඡාවේ දී හෙළිදරව් විය.

1951 වර්ෂය වන විට අක්කර 72ක් ලෙස ගැසට් කරන ලද මෙම රක්ෂිතයෙන් අක්කර 11ක් ගම්මාන පුළුල් කිරීම යටතේ ජයභූමි ඔප්පු ලෙස ජනතාව අතර බෙදා දී ඇත්තේ කිසිදු සොයා බැලීමකින් තොරව බවත් මෙහිදී හෙළි විය.

එමෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කොටසේ නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීමට මැදිහත් වූ නිලධාරින්ට එරෙහිව පොලිසිය පරීක්ෂණ ආරම්භ කිරීම පිළිබඳවත් සොයා බලන ලෙස ඇමැතිවරයා උපදෙස් දුන්නේය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න