භාණ්ඩ ප්‍රවාහනයට ශ්‍රීලන්කන් මගී යානයක් | දිනමිණ

භාණ්ඩ ප්‍රවාහනයට ශ්‍රීලන්කන් මගී යානයක්

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය මගී ප්‍රවාහන එයාර්බස් A330-300 යානාවක් තාවකාලිකව ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් සඳහා පමණක් භාවිත කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව එහි මගී ආසන ඉවත් කර භාණ්ඩ ප්‍රවාහනයට හැකි ලෙස පරිවර්තනය කිරීමට පියවර ගෙන ඇත.

මේ පරිවර්තනය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ මූලික එකඟතාවය හිමිව ඇති අතර එම පරිවර්තන කාර්යය නිමවීමෙන් පසු ගුවන්යෝග්‍යතා ප්‍රමිතීන්වල අනුකූලතාව සලකා බලා ගුවන්යානාව මෙහෙයුම් සඳහා එක් කිරීමට නියමිතයි. මේ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය ගුවන් යානාවල ගුවන් භාණ්ඩ කුටීරයට අමතරව ගුවන් මගී කුටීරයේ ද ප්‍රමිතීන්ට අනුකූල වෙමින් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය හිමි කර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කපිතාන් තේමීය අබේවික්‍රම මහතා මෙසේ පැවසීය.

කොරෝනා වෛරස තත්ත්වයේ බලපෑම හේතුවෙන් ගුවන් මගී ප්‍රවාහන කර්මාන්තය කිසියම් පසුබෑමකට ලක්ව ඇති අවස්ථාවක ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය ගුවන් යානාවන් මෙසේ කාර්යක්ෂම ලෙස මෙහෙයුම් ක්‍රියාවලියට යෙදවීමට ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි. මේ පරිවර්තන ක්‍රියාවලිය නිමවීමෙන් පසු ගුවන් සේවා ප්‍රමිතීන්ට අනුකූලව එම කාර්යය සිදු වී තිබේ ද යන්න පිරික්සා මෙහෙයුම් සඳහා එක් කිරීමට අනුමැතිය ලබාදීමට කටයුතු කරනවා.

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමීය අබේවික්‍රම මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ඉංජිනේරු අංශ නිලධාරීන් පිරිසක් සමඟ පසුගිය දා පැවති සාකච්ඡාවේ දී ය. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජනය කරමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රංජිත් පෙරේරා, අධ්‍යක්ෂ කපිතාන් ලුශාන් ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ ගුවන්යෝග්‍යතා පරීක්ෂක චමින්ද විමලරත්න, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තත්ත්ව පාලන කළමනාකරු සමන් ගුණසේන, තාක්ෂණික සේවා කළමනාකරු ජී. එම්. ගජනායක මහත්වරු ඇතුළු ගුවන් ඉංජිනේරු අංශයේ ඉහළ පෙළේ නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න