ජන ජීවිතය හා ආර්ථිකය රැකගනිමින් රට යථා තත්ත්වයට ගෙනෙන්න ජනපතිට හැකි වුණා | දිනමිණ

ජන ජීවිතය හා ආර්ථිකය රැකගනිමින් රට යථා තත්ත්වයට ගෙනෙන්න ජනපතිට හැකි වුණා

කොරෝනා වසංගතයෙන් රට ආරක්ෂා කර ගනිමින් ආර්ථිකය සහ ජන ජිවිතය යථා තත්ත්වයට පත්කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවැරැදිව කටයුතු කරමින් සිටින බව ප්‍රජා සංවර්ධන හිටපු රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා පැවැසීය. ලෝකයේ ධනවත් රටවල් කොරෝනා වසංගතය හේතුවෙන් ඉතා අසීරුතාවකට පත්ව සිටින මොහොතක අපේ රටේ නායකත්වය විසින් නිවැරැදි තීරණ ගැනීම හේතුවෙන් ජනතාව ආරක්ෂා වී සිටින බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. නිමල් ලන්සා මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

කොවිඩ් 19 රෝගීන් සමාජයෙන් බිහිවීම පාලනය කර ගනිමින් රට තුළ මෙම වසංගතය ව්‍යාප්තවීම වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ විශාල කැපවීමකින් කටයුතු කරනවා. එමෙන්ම ජනජීවිත අඩාල නොවී රට නිසි අයුරින් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවා සපයන සියලුම අංශ සිය කාර්යභාරය නිවැරැදිව ඉටු කරමින් සිටිනවා.

පවතින තත්ත්වය තුළ රජය විසින් නිකුත් කරනු ලබන නිවේදන, දැනුවත් කිරීම් හා නිවැරැදි තොරතුරු ජනමාධ්‍ය විසින් වගකීමෙන් යුතුව ඉදිරිපත් කිරීමද ප්‍රශංසනීයයි.

රෝගීන් හඳුනා ගැනීම, පරීක්ෂණ කිරීම, හුදෙකලා කිරීම සහ ප්‍රතිකාර ක්‍රමවේද සාර්ථකව සිදු කරමින් අපේ රටේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්වී තිබෙනවා. කොරෝනා වසංගතයෙන් රට ආරක්ෂා කරගනිමින්, රටේ ආර්ථිකය නගා සිටුවීමටත්, ජන ජිවිතය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව රජය ගෙන යන වැඩපිළිවෙළට ඉහළ ජනතා ප්‍රසාදයක් ලැබී තිබෙනවා. ලෝකයේ ධනවත් රටවල් පවා වසංගතය හේතුවෙන් ඉතා අසීරුතාවයකට පත්ව සිටින මොහොතක අපේ රටේ නායකත්වය විසින් නිවැරදි තීරණ ගැනීම හේතුවෙන් රටේ ජනතාව ආරක්ෂා වී සිටින බව කියන්න අවශ්‍යයි. රටේ බහුතරයකගේ කැමැත්ත රට යථා තත්ත්වයට පත්කර ගැනීම වුවත් පවතින තත්ත්වයන් තුළ විපක්ෂයේ හැසිරීම ඉතා කනගාටුදායකයි. කොවිඩ් 19 රෝගීන් ප්‍රමාණය ඉහළ ගොස් ශ්‍රී ලංකාව තුළ වසංගත තත්ත්වය ව්‍යාප්ත වී රටේ ආර්ථිකයත්, ජන ජිවිතයත් විනාශ කරමින් රට ආරාජිකකොට පටු දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් විපක්ෂය කටයුතු කරමින් සිටිනවා. කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කර ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හා දේශීය නිෂ්පාදන නගාසිටුවමින් සහ නව නිපැයුම්කරුවන් සඳහා අවස්ථාව ලබාදෙමින් ඔවුනගේ දායකත්වය රටට ලබා ගැනීමට රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ රටේ ජනතාව විශ්වාසය තබා තිබෙනවා.

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න