රාජිත අත්අඩංගුවට ගත්තේ සිදුකළ කුමන්ත්‍රණයක් නිසායි | දිනමිණ

රාජිත අත්අඩංගුවට ගත්තේ සිදුකළ කුමන්ත්‍රණයක් නිසායි

හිටපු ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම

රාජිත අත්අඩංගුවට පත්වූයේ ඔහු ජනපතිවරයාට එරෙහිව සිදුකළ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් නිසා මිස ආණ්ඩුවේ අවශ්‍යතාවකට නොවන බව හිටපු ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පවසයි.

කෝටි දෙකහමාරක් වටිනා යන්ත්‍රෝපකරණ තොගයක් ලබාදීම පෙරේදා(14) දිලුම් අමුණුගම මහතා අතින් සිදු කෙරුණි. ඒ සඳහා යටිනුවර ඩිපෝවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමුණුගම මහතා මේ බව පැවසුවේය.

තවදුරටත් ඒ මහතා මෙසේ ද පැවසීය.

මෙය ආණ්ඩුවේ දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස හුවා දැක්වීමට විපක්ෂයේ පිරිස් උත්සහ කරනවා. නමුත් රාජිත කළ කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු සියල්ල හෙළි කෙළේ ඔහු සමඟ කුමන්ත්‍රණයට සම්බන්ධ වූවන්.

ජනපතිවරණ සමයේ ජනතාව නොමඟ යැවීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව ඉතා සැළසුම් සහගතව කුමන්ත්‍රණයක් දියත් කිරීමට රාජිත සේනාරත්න මුදල් ගෙවා පුද්ගලයින් දෙදෙනෙකු යොදාගත්තා. ඔවුන් කළ බොරුව මුළු රටම අද දන්නවා. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ලෙස හුවා දැක්වීමට උත්සහ කිරීම හාස්‍යට කරුණක්.

මැතිවරණ සමයක රාජිත සේනාරත්න වැනි අය බන්ධනාගාරයේ නොව ඉන් පිටත සිටීම එයාගේ දේශපාලනයට , පක්ෂයට වාසි සහගතයි. ඔහු මැතිවරණ වේදිකාවල සිට කරන ප්‍රකාශවලින් තිබෙන ඡන්ද ප්‍රමාණයත් අහිමි වෙනවා.

පසුගිය ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය නොදුන් අය පවා තමන් එදා ගත් තීන්දුව පිළිබඳව දැන් පසුතැවෙනවා. ජනපතිවරයාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් එතුමාට ලබාදිය යුතුයි යන ස්ථාවරයේ අති බහුතර ජනතාවක් සිටිනවා.

යහ පාලන ආණ්ඩුව අද බලයේ සිටියා නම් මිනී පෙට්ටි ව්‍යාපාරිකයන් ශක්තිමත්ව ගොඩනැගෙනවා.

 

නව අදහස දක්වන්න