ගම්වලට යැවූ අය නිරෝධායනයට ලක් කිරීම නිරන්තරයෙන් සිදු වෙනවා | දිනමිණ

ගම්වලට යැවූ අය නිරෝධායනයට ලක් කිරීම නිරන්තරයෙන් සිදු වෙනවා

සන්ධ්‍යා කරුණාරත්න

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය නිසා බස්නාහිර පළාතේ සිරව සිටි පිරිස් ගම්වලට යැවීම සිදු කළ ද ඔවුන් නිරෝධායනයට ලක් කිරීම නිරන්තරයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහින්ද බාලසූරිය මහතා පැවැසුවේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

ගම්වලට යැවූ පුද්ගලයන් 1214ක් මේ වන විට නිරෝධායනයට ලක් කර තිබෙනවා. රට පුරා පුද්ගලයන් 2314ක් (නාවික හමුදා සාමාජික පවුල් හා ඒ ආශ්‍රිතයන් නොමැතිව) ඊයේ (15) වන විට නිරෝධායනට ලක් කර තිබෙනවා.

මීට අමතරව නාවික හමුදා සාමාජිකයන්ගේ පවුල්වල උදවිය සහ ඔවුන් ආශ්‍රය කළ පුද්ගලයන් නිරෝධායනයට ලක් කිරීම සිදු කරනවා. කොරෝනා රෝගය රටින් තුරන් කිරීමට අවශ්‍ය සියලු පියවර මේ වන විට ගෙන තිබෙනවා.

කොරෝනා වෛරසය රටේ ව්‍යාප්ත වීම මර්දනය කිරීමත් සමඟ විවෘත කර ඇති කර්මාන්තශාලා ඇතුළු වැඩ කරන ආයතන සම්බන්ධයෙන් නිරීක්ෂණයට ලක් කිරීමත්, වෛරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදීමත් සිදු කරනවා.

කොරෝනා වෛරසයට අමතරව මේ දිනවල ඩෙංගු සහ මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතිනවා. මේ අවදානමෙන් ජනතාව බේරා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීම සහ දැනුවත් කිරීම සිදු කරනවා.

 

 

නව අදහස දක්වන්න