ආසියාවේ පවත්නා ලොව ආරක්ෂාකාරීම අාචාර කිරීමේ ක්‍රම ඉදිරියටත් රැක ගත යුතුයි | දිනමිණ

ආසියාවේ පවත්නා ලොව ආරක්ෂාකාරීම අාචාර කිරීමේ ක්‍රම ඉදිරියටත් රැක ගත යුතුයි

ලොව ඇති ආරක්ෂාකාරීම ආචාර කිරීම ආසියානු කලාපය තුළ තිබෙන බවත් මෙවැනි සුවිශේෂි සිරිත් ඉදිරියට පවත්වාගෙන යාම වැදගත් බවත් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව මෙවර විඩීයෝ තාක්ෂණය ඔස්සේ පෙරේදා පැවැති අවස්ථාවේ දී  ආසියානු කලාපය වෙනුවෙන් අදහස් දක්වමින් වන්නිආරච්චි මහත්මිය මේ බව පැවැසුවාය.

කොවිඩ්- 19 වෙනුවෙන් ආසියාව තුළ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ක්‍රියාකරන ආකාරය මෙන්ම මෙම වසංගතය නිසා ආසියාතික කලාපයට මුහුණ දීමට සිදු වී ඇති අභියෝග පිළිබඳව ඇමැතිවරිය මෙහිදී කරුණු විග්‍රහ කළාය.

මෙ සමුළුවට රටවල් 54 ක් සෞඛ්‍ය ඇමැතිවරුන් සහ නියෝජිතවරුන් සහභාගී වු අතර සියලුම රටවල් විසින් කොවිඩ් මර්දනය සඳහා දායක වීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් තියඩෝර් ගෙබ්‍රයේසුස් (Dr Tedros Adhanom Ghebreyesus) ද මෙම සමුළුවට එක්වෙමින් කොවිඩ් වසංගතය පවතින මොහොතේ වුව ද පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් මෙම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට එක්වීම ඉතා අගය කළ යුතු බව පැවසු අතර, මෙසේ ර‍ටවල් එකමුතුව තම අත්දැකීම් හුවමාරු කර ගැනීමෙන් මෙම උවදුරට සාර්ථකව මුහුණ දිය හැකි බව ද අවධාරණය කළේය.

මෙම සමුළුවේ තාක්ෂණික ඉදිරිපත් කිරීම පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය පිළිබඳ විද්වත් කමිටුවේ සභාපති විසින් ඉදිරිපත් කළ අතර මෙවර එම සභාපතිධුරය උසුලන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය විසිනි.

නව අදහස දක්වන්න