විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය 2022ට කල් යයිද...? | දිනමිණ

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය 2022ට කල් යයිද...?

ෆවුස් මොහොමඩ්

අයි.සී.සී.යේ තීරණාත්මක රැස්වීම 28 වැනිදා

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මේ මස 28 වැනිදා පැවැත්වෙන ක්‍රිකට් කමිටු රැස්වීමේදී අයි.සී.සී. විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වසර 2022 දක්වා කල් දැමීම පිළිබඳ සාකච්ඡාව කිරීමට නියමිත බව වාර්තා වෙයි. අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැස්වීමට නියමිත අයි.සී.සී. යේ ක්‍රිකට් කවුන්සිලය එහිදී අවසන් තීරණයකට පැමිණෙනු ඇතැයි ද ජාත්‍යන්තර වෙබ් අඩවි සඳහන් කළේය. කොවිඩ් වසංගතය හේතුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ද වසරකින් කල් දමා ඇති පසුබිමක් තුළ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ද කල් යනු ඇතැයි බොහෝ පාර්ශ්ව විශ්වාසය පළ කළත් අයි.සී.සී. ය මෙතෙක් එවැනි තීරණයකට පැමිණ නැත.

ක්‍රිකට් කමිටු රැස්වීමේදී විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම සම්බන්ධව මෙතෙක් ඉදිරිපත් වී ඇති යෝජනා මෙහිදී සාකච්ඡාවට භාජනය වනු ඇත. තරගාවලිය වසර 2022 දක්වා කල් දැමීම සම්බන්ධව මෙන්ම සැලසුම් කළ පරිදි තරගාවලිය පවත්වමින් ඊට සහභාගි වන සියළුම ක්‍රීඩකයන් නිරෝධායන කිරීම සම්බන්ධවත් යෝජනා ඉදිරිපත්වී තිබේ. මීට අමතරව නරඹන්නන්ගෙන් තොරව තරගාවලිය පවත්වන්නේද යන්න පිළිබඳවත් මේ රැස්වීමේදී සාකච්ජා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමේදී නරඹන්නන් පාලනය කිරීම විශාලතම ගැටලුව වනු ඇතැයි මීට පෙර සත්කාරක ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා ඇමැති රිචඩ් කෝල්බෙක් ද ප්‍රකාශ කළේය. කොවිඩ් වසංගතය හේතුවෙන් ලොව පුරා දේශීය හෝ ජාත්‍යන්තර සියළුම තරගාවලි කල් දමා ඇති අතර දැනට ඉතිරිව ඇත්තේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය පමණි. මේ පිළිබඳ පසුගිය මාස දෙක පුරා ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ පාර්ශ්ව විවිධ මත හා යෝජනා පළ කළ අතර 28 වැනිදා පැවැත්වෙන අයි.සී.සී. ක්‍රිකට් කමිටු රැස්වීමේදී ඒ සියල්ල අධ්‍යයනය කෙරෙනු ඇත.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සමග ජාත්‍යන්තර වශයෙන් සෞඛ්‍ය ආරක්ෂක නව ක්‍රමවේද රැසක් ලොවට හඳුන්වා දී ඇති අතර ක්‍රිකට් පිටියට ද එවැනි ආරක්ෂක ක්‍රමවේද කිහිපයක් ඇතුළත් කිරිමට තීරණය වී තිබේ. පන්දු යැවීමේදී ඊට දහඩිය හා ඛේට තැවරීම ගැනත් ක්‍රිකට් කමිටු රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතය.

අයි.සී.සී.යේ තරග ඉසව් කමිටුවේ සභාපති ක්‍රිස් ටෙට්ලි එහිදී විකල්ප කිහිපයක් යෝජනා කරනු ඇතැයි කමිටු සාමාජිකයකු ප්‍රකාශ කළ බවට වෙබ් අඩවි වාර්තා කළේය.

‘අයි.සී.සී.යේ තරග ඉසව් කමිටුවෙන් අපිට විකල්ප යෝජනා 3ක් ලැබේවි කියා බලාපොරොත්තු වෙනවා. එකක් තමයි දින 14ක නිරෝධායන ක්‍රමවේදයක් අනුගමනය කරමින් ක්‍රීඩාලෝලීන්ට තරග නැරැඹීමේ අවස්ථාවත් ලබා දෙමින් සැලසුම් කළ පරිදි විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම. නරඹන්නන්ගෙන් තොරව හිස් ක්‍රීඩාංගණවල තරගාවලිය පැවැත්වීම ගැනත් යෝජනා වේවි. අනෙක තමයි 2022 දක්වා ලෝක කුසලාන තරගාවලිය කල් දැමීම.‘ අයි.සී.සී. ක්‍රිකට් කමිටු ප්‍රකාශකයා එසේ පැවැසූ බවට වාර්තා වෙයි.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය 2022 දක්වා කල් දැමීම සම්බන්ධව සත්කාරක ඔස්ට්‍රේලියාව වැඩි අකමැත්තක් දක්වනු ඇතැයි නොසිතන බවත් එම ප්‍රකාශකයාගේ අදහස වී තිබේ.

‘රටවල් 16ක ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු රූපවාහිනි හා මාධ්‍ය නියෝජිතයන් නිරෝධායනයට ලක් කිරීම විශාල පිරිවැයක් දැරීමට සිදුවන කාර්යයක්. ඒ වගේම ඒ කාලය වනවිට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ඇති රටවල් අතරින් යථා තත්ත්වයට පත් නොවන රටවල්වල කණ්ඩායම්වල තත්ත්වයත්, ගුවන් ගමන් තහංචි ගැනත් කල්පනා කරන්න සිදුවේවි.‘ එම ප්‍රකාශකයා වැඩි දුරටත් එසේ කියා ඇත.

‘2022ට නැතිව මාස කිහිපයකට ඒ කියන්නේ 2021 පෙබරවාරි හෝ මාර්තු කාලයට විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය කල් දමන්න අපිට අසීරුයි. මොකද කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය ඒ කාලයේ පැවැත්වෙනවා. අයි.සී.සී.යේ ප්‍රධාන තරග ඉසව් දෙකක් අතර ගැටීමක් වෙන්න බෑ. අනෙක කාන්තා ලෝක කුසලාන තරගාවලිය වැඩි ආරක්ෂාවක් සහිතයි. ඊට ක්‍රීඩා කරන්නෙත් කණ්ඩායම් අටක් පමණයි.‘

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් සභාපති ශෂන්ක් මනෝහර්ගේ කාලය තවත් මාස දෙකකට දීර්ඝ කිරීම ගැනත් මේ රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතය. නමුත් ඊට පෙර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉරණම විසඳීමට ඔවුන්ට සිදුවනු ඇත.

 

නව අදහස දක්වන්න