සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් ජර්මනියේ පාපන්දු ලීග් ඇරැඹේ | දිනමිණ

සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් ජර්මනියේ පාපන්දු ලීග් ඇරැඹේ

ෆවුස් මොහොමඩ්

කොවිඩ් වසංගය මැද ජර්මනියේ වෘත්තීය මට්ටමේ බන්ඩෙස්ලිගා පාපන්දු ලීග් තරගාවලිය පසුගියදා ආරම්භ විය. මාස දෙකකට වැඩි නිහඬ කාල සීමාවකින් පසුව ලෝක පාපන්දු පිටියේ ආරම්භ වූ පළමු ප්‍රධාන තරගාවලිය ද මෙය වේ.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සමග ලෝක පාපන්දු ක්ෂේත්‍රයද දැඩි පසුබෑමකට ලක්වූවත් බෙලරුසියානු සහ නිකරගුවා වැනි රටවල ක්‍රියාත්මක වූ පාපන්දු කුඩා ලීග් තරගාවලි දිගටම පවත්වාගෙන ගියේය.

කොවිඩ් වසංගතයත් සමග ලෝක පාපන්දු ක්ෂේත්‍රය කෙතරම් වෙනසකට ලක්වී ඇතිදැයි ජර්මානු පාපන්දු ලීගයෙන් කදිමට පෙන්නුම් කර තිබිණි. සමාජ දුරස්ථභාවය රැක ගැනීම සඳහා ක්‍රීඩාංගණවලට කණ්ඩායම් රැගෙන ඒමේදී එක් එක් කණ්ඩායම් සඳහා වෙන වෙනම බස් රථ යොදවා තිබිණි. සෑම කණ්ඩායමකම ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩලය ඔවුන් නවාතැන් ගත් හෝටල් තුළ නිරෝධායනය කළ අතර දෛනිකව කොවිඩ් පරීක්ෂණයට ද පෙනී සිටීමට සිදුවීය.

ක්‍රීඩාගංණයට ඇතුල්වන සෑම පුද්ගලයකුටම මුව ආවරණ අනිවාර්ය කර තිබූ අතර ක්‍රීඩා කිරීමට පිටියට පිවිසෙන තුරු ක්‍රීඩකයන් ද එය පැලඳ සිටිය යුතු විය. ඔවුන් නැවත පිටියෙන් පිටතට පැමිණීමේදී මුව ආවරණ ලබා දිමට කටයුතු කෙරිණි. මීට අමතරව වාර්තාකරුවන් වැනි සෙසු පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම් ද සිදු කෙරිණි.

ක්‍රීඩා පිටි නරඹන්නන්නට තහනම් කළ අතර ක්‍රීඩාංගණයට ඇතුල්විමට අවසර ලැබුවේ පුද්ගලයන් 213 දෙනකු පමණි. ඉන් 98ක් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ පිටියෙන් පිටතට ඇදී යන පන්දු එකතු කිරීමේ කාර්ය මණ්ඩලයට අයත් වූ අතර ආරක්ෂක අංශ, මාධ්‍ය සහ වෛද්‍ය අංශවල තවත් පුද්ගලයන් 115ක් රැඳී සිටියේ ක්‍රීඩා මණ්ඩප තුළය. මීට අමතරව ක්‍රීඩාංගණයෙන් පිටත ආරක්ෂක නිලධාරීන් සහ සෙසු කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 109කට රැඳී සිටිමට අවසර ලැබිණි. පන්දු එකතු කිරීමේ කාර්ය මණ්ඩලය විසින් තරගයට පෙර සහ විවේක කාලයේදී අදාළ පන්දු විෂබීජහරණය කිරිම ද සිදුවිය.

නව අදහස දක්වන්න